Homeදේශීයලෝක උරුම මහනුවර කසලින් පිරුණ හැටි.

ලෝක උරුම මහනුවර කසලින් පිරුණ හැටි.

ඉකුත් සිකුරාදා පෙරවරු 10.00 වනවිටදී මිශ්‍ර කසළ කිලෝග්‍රෑම් 212,230ක්, පොලිතීන් කිලෝග්‍රෑම් 56,370ක් සහ ඉඳුල් කිලෝග්‍රෑම් 34,720ක් මහ නගර සභා සේවකයන් විසින් එකතු කරනු ලැබීය. ඒ අනුව ඔවුන් එකතු කරන ලද සමස්ත කසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 305,130කි.

අම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව වන්දනාකරුවන්ගේ දැඩි තදබදයක් පැවැති බැවින් ට්‍රැක්ටරයකටවත් එහි ළඟාවීමට නොහැකි වීම නිසා මහ නගර සභාවට එම ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය. එම ප්‍රදේශය ආශ්‍රිතව ද තවත් කසළ මෙට්‍රික් ටොන් 50ක පමණ ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි ද අනාවරණය වේ. කසළවලින් වැඩි ප්‍රමාණයක් එකතුවන්නේ අම්පිටිය මාර්ගයෙන් බවද පැවැසේ.

සිරි දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් ලක්ෂ තුනක පමණ පිරිසක් පසුගිය සිකුරාදා වනවිට නගරය තුළ රැඳී සිටින බව ප්‍රධාන ඉංජිනේරුවරයා කීවේය.

බැතිමතුන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඔවුන්ට ආහාරපාන ලබාදෙන දන්සල් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. එක් දිනකට පමණක් දන්සල් 600 කට වැඩි සංඛ්‍යාවක් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. මෙම දන්සල් අතර පානීය ජල බෝතල්, ආහාර, සිසිල් බීම දන්සල් ආදිය වැඩි වශයෙන් වේ. ඇතැමුන් දන්සල්වලින් ලබාගන්නා පානීය ජල බෝතල් අඩක් භාවිත කර බෝතලය තැන් තැන්වල විසිකර දමා ගොස් ඇත.

මෙලෙස දන්සල්වලින් ආහාර ලබාගැනීමෙන් පසුව එම අපද්‍රව්‍යයද බැතිමතුන් නගරයේ තැන තැන බැහැර කිරීම නිසා මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් පමණක් නොව නගරය පිරිසිදු කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින කණ්ඩායම් ද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

එමෙන්ම, ඇතැමුන් ප්ලාස්ටික් බෝතල්වලට මුත්‍රා කර තැන තැන විසිකර දමා ඇත. සිලි සිලි මලුවලට මලපහ කර තැන් තැන්වල විසිකර දමා ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික සමාගමක් ජංගම වැසිකිළි 150 ක් පමණ ස්ථාපිත කර තිබුණද, එම වැසිකිළිවල නිරන්තරයෙන් 400 ත් 500 ත් අතර පෝලිමක් තිබීම නිසා බොහෝ දෙනෙකු නගරය ආශ්‍රිත ඇළවල් හා පරිසර පද්ධතියට මලමූත්‍ර බැහැර කරන්නේය. මහනුවර මහ නගර සභාව දැනට වසර එක හමාරක පමණ කාලය සිට කසළ බැහැර කරනු ලබන්නේ කසළ වර්ගීකරණය කිරීමෙන් පසුව බවත්, ඒ අනුව නගරයේ නිවාසවලින් කසළ මහ නගර සභාව එකතු කරනු ලැබුවේ ඒවා වර්ගීකරණයට ලක් කිරීමෙන් අනතුරුව බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා පැවැසීය.

මහනුවර නගරයේ පදිංචි නාගරික ජනගහනය ලක්ෂයක් පමණ වන අතර, ඊට අමතරව ලක්ෂ තුනත් හතරත් අතර ජනගහනයක් විවිධ අවශ්‍යතා ඉටු කරගැනීමට මහනුවර නගරයට සංක්‍රමණය විය. දළදා ප්‍රදර්ශනයත් සමග ඉහත ජනගහනයට අමතරව තවත් ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් නගරයට එකතුවී තිබේ.

සිරි දළදා වන්දනාවට පෙර සාමාන්‍ය දිනකදී මිශ්‍ර කසළ (වර්ග නොකරන ලද) ටොන් දෙකක් පමණ නගරයේ තැන් තැන්වල දමා ගොස් තිබූ බවත්, නගර සභාව එම කසළ ද රැස්කර ගොහාගොඩ කසළ කන්දට බැහැර කරනු ලැබුවේ වර්ගීකරණය කිරීමෙන් අනතුරුව බවත් නාමල් ධම්මික පැවසුවේය.

මහනුවර නගර සභාව කසළ ලෙස එකතු කරන රෙදි, ඝෘජුෆෝම් පොලිතීන්, කඩදාසි ටොන් 10 ක් දිනපතා පුත්තලම පෞද්ගලික සිමෙන්ති ආයතනයක දාහකයකට රැගෙන ගොස් විනාශ කරන්නේය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කසළ බඳුන් ලබාදී ඇතත්, මහනුවර නගරයට පැමිණ සිටින බැතිමතුන් කසළ වර්ගීකරණය නොකර බැහැර කිරීම නිසා ඒවා වෙන් කිරීමද ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇතැයිද ඔහු පැවසීය. මෙම කසළ වෙන් කර බඳුන්වලට බැහැර කරන ලෙස බැතිමතුන්ට දැනුම් දුන්නද ඔවුන් ඊට අනුගත නොවන බව ද ඔහු කියා සිටියේය.

දරාගත නොහැකි ලෙස මිශ්‍ර කසළ ප්‍රමාණයක් නගරයේ එකතු වන බැවින්, ඒවා වර්ගීකරණය කිරීමට කම්කරුවන් දිවා රාත්‍රි 20 කට අධික පිරිසක් යෙදවූවත් එය පහසු කාර්යයක් නොවන බව ද ඔහු සඳහන් කළේය. නගරයේ මෙලෙස දෛනිකව එකතු වන කසළ එකතු කිරීම සඳහා විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් සහයෝගය දක්වන බව ද ඔහු පැවැසීය.

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වන අද කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දහසකට අධික පිරිසක් මහනුවර නගරයට පැමිණ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීමට නියමිත බවද ඔහු කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments