Homeදේශීයපරීක්ෂාවෙන් තොර කන්ටේනර් ගැන සෙවීමට කමිටුවක්

පරීක්ෂාවෙන් තොර කන්ටේනර් ගැන සෙවීමට කමිටුවක්

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්නගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන අතර, කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර කටයුතු කරති.

ආනයනික භාණ්ඩ සහිත බහාලුම් රේගු පරීක්ෂාවට ලක් කර නිදහස් කිරීමට තදබදයක් පවතින බවට වාර්තා වන පසුබිමක රේගු පරීක්ෂාවට ලක් නොකර බහලුම් 300කට වැඩි ගණනක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබ ඇති බවට රේගු වෘත්තිය සමිතියක් චෝදනා කළේ ය.

ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිශ්කාෂණයට ලක් නොකර නිදහස් කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමයේ සභාපති අමිල සංජීව සඳහන් කළේ, බහාලුම් මුදා හැරිමේදී පරිගණකගත ස්වංක්‍රීය ක්‍රමයක් හරහා පරීක්ෂාවට ලක් නොකර නිදහස් කළ හැකි බහලුම් මෙන් ම පරීක්ෂාවට ලක් කළ යුතු බහාලුම් ලෙස කාණ්ඩ කිහිපයකට වෙන් කළ හැකි ලොව පිළිගත් ක්‍රමවේදයක් මෙරට පවතින බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments