Homeජාත්‍යන්තරජපානයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක්

ජපානයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක්

ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අදාළ ගිවිසුම අත්සන් තබා තිබෙනවා.

මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසළ ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතයි.

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළා.

දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කර සිටියා.

ජපාන අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූවා.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කළා.

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ජපාන රජය වෙත ස්තුතිය පළ කර සිටියා.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන්ද කෘතවේදීත්වය පළ කළා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments