Homeදේශීයසැප්තැම්බර් 17,18 දුම්රිය වර්ජනය ස්ථිරවම

සැප්තැම්බර් 17,18 දුම්රිය වර්ජනය ස්ථිරවම

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දී ඇති සේවා බිඳවැටීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් බව සඳහන් වේ.

එහිදී වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පාලනය කෙරෙහි වෘත්තීය සමිතිවල විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බැවින්, ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව නැවත ගොඩනැඟීම, කාර්යක්ෂම සේවයක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ එකම අරමුණ බවද ඔවුහු පෙන්වා දී තිබේ.

සාකච්ඡාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැඟීම වෘත්තීය සමිතිවල සැබෑ අරමුණ බව තමන් පිළිගන්නා බවත්, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වෙත නිදහසට කරුණු විමසමින් ලිපියක් නිකුත් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවත්ය.

කෙසේ වෙතත්, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තමන්ට තවදුරටත් කාලය අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී දැනුම් දී තිබේ.

එහෙත්, වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කාලය ලබා දිය නොහැකි බව පවසමින් වෘත්තීය සමිති එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

ඒ අනුව, සාකච්ඡාව වැඩ වර්ජනය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට පැමිණීමකින් තොරව අවසන් වී ඇති බැවින්, සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ සැලසුම් කළ පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තවදුරටත් නිවේදනය කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments