මහර බන්ධනාගාරයේ සිද්ධිය වූ ස්ථාන අද දිනයේදී රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්වීමට නියමිතයි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සිදුකර තිබුණා.
සිද්ධියෙන් මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර අද සිට දින 03 ක් රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.
එමෙන්ම බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්පූර්ණයෙන් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් මේ වනවිට රැඳවියන්ට ආහාර පිසීම සඳහා ස්ථානයක් හෝ භාණ්ඩ කිසිවක් නොමැති බවත්, ඒ අනුව ඔවුන්ට පිටතින් ආහාර ගෙනැවිත් දෙන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමත් සමඟ ඔවුන් ඉදිරි නඩුකටයුතු සඳහා රැගෙන යෑමේ ගැටලුවක් මතුව ඇති බැවින් එම නඩු කටයුතු සදහා වෙනත් දින ලබා ගැනීමට නියමිත බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළා.
එමෙන්ම, මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.
රැඳවියන් 4,100 කට අධික පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගත්තේ පසුගිය සෙනසුරාදා පස්වරුවේයි.
බන්ධනාගාරය තුළට රහසිගතව මත්ද්‍රව්‍ය පැමිණීමේ ජාලය සම්පූර්ණයෙන් අඩාල වීමත් සමඟයි.
එහිදී මත්ද්‍රව්‍ය නොමැතිව මානසික ව්‍යාකූලත්වයට පත්වූ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළයක් මත නැග එහි පරිපාලනයට විරෝධය පළ කර ඇති අතර, ඉන් පසු බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් වාට්ටුවලින් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී රැඳවියන් අතර ද යම් නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.
ඒ අතරතුර ඇතැම් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ තාප්පයක් බිඳ පලායාමට තැත් කර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබුණා.
තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලේ ඖෂධාගාරය බිඳ දමා තිබූ අතර, කිහිපදෙනෙකු එහි තිබූ ඖෂධ පානය කර ඇති බව ද වාර්තා වුණා.
එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනය කිරිම සඳහා ආරක්ෂිත පියවර රැසක් අනුගමනය කර තිබුණද නොසන්සුන් වූ රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබුණා.
තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලිසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ත්‍රිවිද හමුදාව අවස්ථා කිහිපයකදී කණ්ඩායම් වශයෙන් කැඳවනු ලැබුවා.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා එදින රාත්‍රියේම රාගම පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 3ක් ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද පොලිසිය පියවර ගත් අතර, දහවල් එය ඉවත් කිරීමට පියවර ගත්තා.
පැය 13කට ආසන්න කාලයක් පැවැති නොසන්සුන්තාව පාලනය කෙරුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300ක පමණ පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී රැඳවියන් අදාළ වාට්ටු වෙත යොමු කිරීමෙන් අනතුරුවයි.
සාතන්, අසාර්, පැට්ටා යන නම්වලින් හැඳින්වෙන රැඳවියන් ඇතුළු රැඳවියන් 10 දෙනෙක් මෙම නොසන්සුන්තාවට මුල්ව ඇති බවට හදුනාගැණුනු අතර, ඒ අනුව ඔවුන් ද ඇතුළුව රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට ද පියවර ගත්තා.
නොසන්සුන්තාව අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ගිනි තබා සම්පුර්ණයෙන් විනාශ කර තිබූ අතර, නව පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය, බන්ධනාගාර රෝහල ඇතුළු තවත් දේපළ රැසකටම ඔවුන් හානි කර තිබුණා.
සිදුවූ හානිය තවමත් ගණනය කර නොමැති අතර, කෝටි ගණනක හානියක් බන්ධනාගාර දේපළවලට සිදුව ඇති බවටයි දැනට ප්‍රකාශ කර ඇත්තේ
ඒ අනුව, මේ වනවිට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.



