රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතේ (Prevention of Organised Crimes Bill) අඩංගු ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති යටතේ මෙම විශේෂ නිර්ණ පෙත්සම් ගොනු කර තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු පෙත්සම් 26ක් විභාගයට ගැනීම අද (04) ආරම්භ විය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතේ (Prevention of Organised Crimes Bill) අඩංගු ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති යටතේ මෙම විශේෂ නිර්ණ පෙත්සම් ගොනු කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිය සහ සමාජය පිළිබඳ භාරය (Law and Society Trust), මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 20ක පිටපත් තමන් වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, අද වන විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.
2006 වසරේදී ශ්‍රී ලංකාව අනුමත කරන ලද, එක්සත් ජාතීන්ගේ ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් කර ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම්වලට (විශේෂයෙන්ම 10, 11, 12, 13 සහ 14 වගන්ති) දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව පෙත්සම්කරුවෝ මෙන්ම හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද පෙන්වා දෙති.
විශේෂයෙන්ම “බරපතළ අපරාධ” සහ “සංවිධානාත්මක අපරාධ කණ්ඩායම” යන්න පැහැදිලි නිර්වචනයකින් තොරව ඉතා පුළුල් ලෙස දක්වා තිබීම, විධායක රැඳවුම් නියෝග මත වසරක් දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමට බලය පැවරීම, පොලිසිය හමුවේ ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම තුළින් වධහිංසා පැමිණවීමේ අවදානම ඉහළ යාම, අධිකරණ බලය සීමා වීම, වරෙන්තු රහිත සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම්, මාධ්‍ය වාර්තාකරණයට සීමා පැනවීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විවේචනයට ලක්වූ වගන්ති යළි ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.
එබැවින් මෙම පනත් කෙටුම්පතේ අදාළ වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම් විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.



