දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සමඟ ජනපති සහභාගී වූ හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණ.
මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්රමයද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවත්, එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බවත් මෙහිදී පෙන්වා දුන් අතර, ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වන විට ස්ථාපිත වී ඇති බවත්, පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවූ බවත් මෙහිදී පෙන්වා දෙමින් නිශ්චිතව පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේක්ෂාව බව අවධාරණය කරන ලදී.
පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපතිවරයා පැවසූ බව සඳහන්.
මලෛයගම් ප්‍රජාවට ඉඩමක අයිතිය ලබා දීම සහ ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම අරමුණ වන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමග එළැඹෙන ගිවිසුම්වලදී මලෛයගම් ජනතාවට ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලබා දීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනපති මෙම සියලු ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ මධ්‍ය කඳුකරයේ තිරසාර පැවැත්ම සහතික කරමින් බවද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමෙන්ම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වසරේ වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවද සඳහන් කරන ලදී.
යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදි කිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කර ඇත.
මෙවැනි සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සතුටු වන අතරම, රටේ පොදු ගැටලුවලදීද මේ අයුරින් කටයුතු කිරීමට සියලු දෙනා වෙත ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසීය.



