2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ දමා ඇතැයි සමාජ මාධ්‍ය හරහා පළවන පුවත් සම්බන්ධව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි සහගත බවත් එය සමාජය නොමග යවන සුළු බවත්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
“ඒ සන්සන්දනය කිරීම ඉතාමත් වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන්ගුණයකින් වැඩි කරලා කියලා. ඇත්තටම ඔවුන් ඒ ගණනය කිරීම සඳහා යොදා ගෙන තිබූ තොරතුරු වැරදියි. 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ඔවුන් පෙන්වලා තියෙන්නේ මිලියන 2,900ක්. ඒ මිලියන 2,900 කියන්නේ 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕනේ සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 2025 වැය ශීර්ෂය බවට පත්වන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරන කාරණා දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන ක්ලීන් ශී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන මිලියන 5,050කුත්, පර්යේෂණ හා වාණිජකරණය සඳහා වූ ඒ පර්යේෂණ සඳහා වූ මිලියන 1,000කුත් සමග. ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වෙන්නේ රුපියල් මිලියන 9,000ක් එතකොට මෙම සංසන්දනය සඳහා ඉදිරිපත් කරන 11.37%ක් කියලා. මේ 11.37% ඇතුළේ අන්තර්ගත වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යන මුදලත්, මේ පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ නිසා සංසන්දනය කිරීමට යන පළමු කාරණයම තාක්ෂණිකව වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ. ඒ හැර අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළේ අපි ඉතාම කළමනාකරණය කරලා අදාළ උචිත පරිදි තමයි වෙන් කරලා තියෙන්නේ.”



