ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියට සමු දුන්නා.
ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කළේ දෙවැනි ටෙස්ට් තරගයේදී අලුත් ක්‍රීඩකයෙකුට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බැවින් තමා පළමු තරගයෙන් පසුව විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි.
මීළග ටෙස්ට් තරගාවලිය සදහා අලුත් ක්‍රීඩකයෙකුට හුරු වීම වෙනුවෙන් එය වැදගත් බව ඔහු පෙන්වා දුන්නා.
ඇන්ජලෝ මැතිව්ස්, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුණා.
ඒ, ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය දක්වමින්.
පුරා දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති මැතිව්ස් ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45කට හිමිකම් කියනවා.