ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති පසුබිමක දේශගුණ විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගත් නෞකාවක් දියත් කර තිබෙනවා.
Freedom Flotilla Coalition නම් සංවිධානයේ මෙහෙයවීම හමුවේ ගාසා තීරය වෙත යාත්‍රා කරන මෙම කණ්ඩායම පසුගිය ජූනි 01 වන දින දකුණු ඉතාලියේ සිසිලි දූපත්වලින් ගමන් ආරම්භ කර තිබුණා.
මෙම පිරිස යාත්‍රා කරන “මැඩ්ලීන්” නමැති නෞකාව ගාසා තීරය දක්වා ගමන් කිරීමට දින 7ක පමණ කාලයක් ගත වෙනු ඇති.
මෙම නෞකාවේ ගමන් ගන්නා පිරිසට ඇතුළත්ව ඇත්තේ, ස්වීඩන ජාතික ක්‍රියාකාරිනිය වන, ග්‍රේටා තන්බර්ග්, Game of Thrones කතා මාලාවේ ලියම් කනිංහැම්, රීමා හසන්, ජර්මනියේ යසමින් අකාර්, ප්‍රංශයේ රීවා වියාඩ්, බැප්ටිස්ට් ඇන්ඩ්‍රේ, තියාගෝ අවිලා, ඕමාර් ෆායාඩ්, පැස්කල් මොරියරාස්, යානිස් මහම්ඩි සහ සුයිබ් ඕර්ඩු(තුර්කිය), සර්ජියෝ ටොරිබියෝ( ස්පාඤ්ඤය), මාර්කෝ වැන් රෙන්ස් ( නෙදර්ලන්තය) යන අයයි.
මෙම කණ්ඩායම රැගත් මැඩ්ලීන් නෞකාවට ඉහළින් ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන යානා කිහිපයක් අනතුරුදායක ලෙස සැරිසැරීම හේතුවෙන් ඔවුන් ඒ සම්බන්ධයෙන් සජීවීව දැනුම් දීමට කටයුතු කර තිබුණා.
මෙම පිරිස ස්වේච්ඡාවෙන්ම මැඩ්ලීන් යාත්‍රාවට එක්ව ඇත්තේ, ගාසා තීරයට ආධාර රැගෙන ගිය Freedom Flotilla Coalition සංවිධානයට අයත් නෞකාවක් මෝල්ටාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී පසුගිය මාසයේදී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව වීමද විශේෂත්වයක්.
Freedom Flotilla Coalition නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ, ගාසා තීරයේ ජනතාවට අවශ්‍යව ඇති වෛද්‍ය සැපයුම්, පිටි, සහල්, ළදරු කිරිපිටි, නැපි, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන, ජලයේ ලවණ ඉවත් කිරීමේ කට්ටල, කිහිලිකරු සහ ළමා කෘතිම පාද ඇතුළු දෑ මෙම නෞකාවේ රැගෙන යන බවයි.
“මෙම මෙහෙයුම කෙතරම් භයානක වුවත්, එය ජන සංහාරයට ලක්වන ජීවිත හමුවේ මුළු ලෝකයම ප්‍රදර්ශනය කරමින් සිටින නිහඬතාවය තරම් භයානක නොවේ.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් පවසා තිබුණා.
ඊශ්‍රායලය විසින් මාස තුනක් පුරාවට ගාසා තීරයට ආධාර ලබා දීම අවහිර කිරීම හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සාගත තත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වෙනවා.
IPC එනම් ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය සිදු කරන ගෝලීය ක්‍රමවේදය මීට දින කිහිපයකට පෙර නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, ගාස තීරයේ වෙසෙන ජනගහනයෙන් 93% ක් එනම් මිලියන 1.95 ක ජනතාව උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී ඇති බවයි.