වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක් ගොඩගැසී තිබේ. එම වාහන ප්‍රමාණය නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවාය.
එම වාහන ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු සඳහා ගාස්තු අයකර නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කීවේය.
වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග දෛනිකව වාහන දෙදහසක් පමණ නව ලියාපදිංචි කිරීම් ලෙස දෙපාර්තමේන්තුවට යොමු කෙරෙන බවත් ඒවා සමග පැවරුම් ලෙස ලියාපදිංචි කෙරෙන වාහනවලට අදාළව අංක තහඩු සඳහා මුදල් අය කෙරෙන්නේ පසුව බවත් එම නිලධාරියා පැවැසීය.
මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය එම සමාගම පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.
අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.