Homeක්‍රීඩාආසියානු ශූරතාවයට 20ක කණ්ඩායමක් දකුණු කොරියාවට

ආසියානු ශූරතාවයට 20ක කණ්ඩායමක් දකුණු කොරියාවට

දකුණු කොරියාවේ ගුමි හී දී මෙම මස 27 වැනිදා සිට පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම මලල ක්‍රීඩා ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. ඒ අනුව මින් පෙර මෙම තරගාවලියට සහභාගිවීමට අනුමැතිය හිමිවී නොතිබුණු මීටර 100×4 පිරිමි සහය දිවීමේ කණ්ඩායම ද නැවත තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.

ක්‍රීඩකයන් 13 දෙනකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔවුන්ට අමතරව කණ්ඩායමට, පුහුණුකරුවන් සහ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළත් වෙති. මෙහිදී පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ තරග ඉසව් 12ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත ය.

කණ්ඩායමේ නායකත්වය දරන සුමේධ රණසිංහ සහ දිල්හානි ලේකම්ගේ සමග රුමේශ් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වටත්, ලෙසඳු අර්තවිදු උස පැනීම ඉසව්වටත් එක්වන අතර රසාරා විජේසූරිය මීටර 5000 සහ මීටර 10000 කාන්තා ඉසව් සඳහා සහභාගී වීමට නියමිත ය. දකුණු ආසියානු ශූර යුපුන් අබේකෝන් මීටර 100, මීටර 200 සහ මීටර 100×4 ඉසව් සඳහා සහභාගී වේ. ඔහුට අමතරව කාලිංග කුමාරගේ මීටර 100 ඉසව්ව සහ එහි සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරන අතර ඔවුන් දෙදෙනා සමග මෙරෝන් විජේසිංහ, දෙනෙත් වීරරත්න සහ චමෝද් දිසානායක යන ක්‍රීඩකයෝ මීටර 100×4 සහය දිවීම ඉසව්ව සඳහා වන කණ්ඩායම නියෝජනය කරති. අරුණ දර්ශන මීටර 400 සහ මීටර 400×4 ඉසව් සඳහා තරග වදියි. මෙම කණ්ඩායමේ වැඩිම තරග ඉසව් සංඛ්‍යාවකට තරග වදින ක්‍රීඩකයා වන චමෝද් යෝධසිංහ මීටර 200, මීටර 400, පිරිමි සහ එහි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වට සහභාගී වෙයි. සදෙව් රාජකරුණා, ඔමෙල් සසින්ත සිල්වා සහ කල්හාර ඉන්දූප යන ක්‍රීඩකයන් මීටර 400×4 සහ එහි මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරති. නිශේන්ද්‍රා ද සිල්වා සහ නදීශා රාමනායක මීටර 400 කාන්තා ඉසව්ව සඳහා තරග වදින අතර ඔවුන් දෙදෙනා සමගින් සයුරි මෙන්ඩිස්, ජයේශි උත්තරා,ජිත්මා විජේතුංග යන ක්‍රීඩිකාවෝ මීටර 400×4 කාන්තා ඉසව්ව සහ එහි මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරති.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව මෙම කණ්ඩායමේ කළමනාකාරිනිය සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස අයිරාංගණී රූපසිංහ කටයුතු කරයි. පුහුණුකරුවන් සහ අනෙකුත් නිලධාරීන් ලෙස අයි.එම්. රණසිංහ, ලාල් විජේවික්‍රම, ටෝනි ප්‍රසන්න සහ ක්ලෝඩියෝ ලිසිආඩෙලෝ, ගැල්ඩෙරිසි මතෙඕ සහ යූ. වී. ඩී ජගත් බණ්ඩාර සහභාගී වෙති.

RELATED ARTICLES

Most Popular

Recent Comments