Homeදේශීයපාතාල කල්ලි මරා ගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි

පාතාල කල්ලි මරා ගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි

රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමග පොහොට්ටුවේ, සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයින් සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු වලින් හෙළිවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
බුද්ධි අංශ උපුටා දක්වමින් ඔහු පැවසුවේ පාතාල අපරාධ මර්ධනය කිරීමට මේ තත්ත්වයත් යම් බාධාවක් ඇති කර තිබෙන බවය.

මේ තත්ත්වයන් සම්බන්ධව පොලිස් විමර්ශනයක් කිරීමෙන් පසු පාතාලය සමග ඉන්නා දේශපාලකයින් කවරෙක්දැයි පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන බව ද ඇමතිවරයා කීවේය.

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාතාල මරාගැනිම් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති ආකාරය සම්බන්ධව 27/2 ස්ථාවර නියෝගය යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන් වගේම හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ප්‍රාදේශීය මට්ටමින් හිටපු සහ දැනට ඉන්න ප්‍රබල දේශපාලන චරිත ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග ඍජු සම්බන්ධතා පත්වන බවට බුද්ධි තොරතුරු අනාවරව්‍ය කරනවා.”

“ඒ පිළිබඳව මේ වනවිට විමර්ශනයක් කරනවා. මේ තත්ත්වයත් මේ අපරාධ වර්ධනයට බලපාලා තියනවා කියලා බුද්ධි අංශ වාර්තා කරලා තියනවා. මේ සම්බන්ධව විමර්ශනය කරලා ඔවුන් අත් අඩංගුවට ගන්න මේ වනවිට කණ්ඩායම් යොදවලා තියනවා. ”

එමෙන්ම පාතාල මර්ධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ද ඇමතිවරයා විසින් සිදුකළේය. පාතාල ක්‍රියාකාකම් සඳහා යොදා ගන්නා හමුදාවෙන් පලා ආ පිරිස් අත් අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මේ වනවිට තුන් දහසකට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බවත් පැවසූ ඇමතිවරයා පාතාලයේ ගිනි අවි 1278ක් පොලිසිය භාරයට ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය. ඇමතිවරයා කීවේ හමුදා කඳවුරුවලින් පවා ගිනි අවි පාතාල කණ්ඩායම් වෙත ලැබී ඇති බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි පිලිබඳව විධිමත් පරික්ෂණ ආරම්භ කර සැකකරුවන් 216ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිට අපරාධ වැඩි වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති බවත් කී ඇමතිවරයා එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා ඇති බව ද කීවේය.

දිවයින පුරා මත්ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම, පොලිස් මෙහෙයුම් වැඩි කිරීම, අපරාධකරුවන් සම්බන්ධ දත්ත යාවත්කාලීන කිරීම, ඒ සඳහා තාක්ෂණය යොදා ගැනීම, විදේශගතව සිටින අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම, නාවික හමුදාව හා එක්ව රට වටා සමුද්‍ර ආරක්ෂාව තරකරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම වැනි විශේෂ මෙහෙයුමක රජය සිටින බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය.

පාතාල කල්ලි අතර සිදුවන මරා ගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් ඇමතිවරයා පැවසුවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments