අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගත් උත්සාහයට විරෝධය පළ කරමින් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධුරයෙන් පහ කිරීම සඳහා වන යෝජනාවක් සම්මත කරගැනීමට නීතිඥ සංගම් සූදානම් වේ.
කොළඹ නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් හෙට කැඳවා ඇති බවත්, එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවත්, කොළඹ නීතිඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායක පැවසුවේය. ඉන් පසුව එම යෝජනාව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඉදිරිපත් කර අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරේ රැඳී සිටීමට නුසුදුසු බවටත්, ඔහු ඉවත් කළ යුතු බවටත් වන යෝජනාවක් සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් පෙනී සිටියි. සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නීතීඥවරයා කොමිසමට කැඳවා තිබිණි. එම කැඳවීමට අනුව ප්‍රකාශයක් ලබාදීමට නොගිය නීතිඥවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උපදෙස් පරිදි සකස් කළ ලිපියක් කොමිසමට යොමු කර තිබිණි. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ ආකාරයට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේ උත්සාහයන් කිහිපයක් පසුගිය කාලයේදී වාර්තාවී තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියද තහවුරු කළේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මීළඟ විධායක සභාවේදී අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව විත්තිකරුවෙක් නීතීඥයන්ට ලබාදෙන ප්‍රකාශවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බවද ඒ සම්බන්ධයෙන් තොරතුරු වෙනත් පාර්ශ්වයන්ට ලබාදීමට නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය බවද රජීව් අමරසූරිය සඳහන් කළේය.