Homeදේශීයරිය අනතුරු සිදුවිය හැකි තැන් ගැන වාර්තාවක් කැඳවයි

රිය අනතුරු සිදුවිය හැකි තැන් ගැන වාර්තාවක් කැඳවයි

මෙරට රිය අනතුරු සිදුවිය හැකි ස්ථාන මොනවාද යන්න පිළිබඳ නිශ්චිත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

පුද්ගලයන් 23 දෙනකුට දිවි අහිමි කරමින් කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර ඇතුළුව දිගින් දිගටම ඉකුත් කාලයේ සිදුවූ අනතුරුවලට විසඳුමක් සෙවීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයා එම වාර්තාව කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන මොනවාද? රිය අනතුරු සිදුවිය හැකි බවට අනුමාන කරන ස්ථාන මොනවාද? යන්න පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් මගින් පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

‘‘කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මීට පෙර රිය අනතුරක් සිදුවී නැහැ. පළමු වතාවටයි එම ස්ථානයේ රිය අනතුරක් සිදුවී තිබෙන්නේ. එවැනි රිය අනතුරු සිදුවිය හැකි ස්ථාන මොනවාද? එම ස්ථානය පිහිටි කොට්ඨාසය සහ මාර්ගය කුමක්ද? එම මාර්ගය අයත් වන්නේ පළාත් පාලන ආයතනයකටද? මාර්ග සංවර්ධන අධිකාරියටද? යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් වාර්තාවක් කැඳවා තිබෙනවා’’ යැයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පැවසීය.

‘‘පොලිස් කොට්ඨාසයක් තුළ ස්ථාන තුන හතරක රථවාහන පොලිස් නිලධාරීන් විශේෂ කණ්ඩායම් ලෙස යොදවා, විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් රථ සහ අනෙකුත් රථවාහන පරීක්ෂා කිරීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් මගින් කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එම බස් රථ ඇතුළු රථවාහන ධාවනය කරන රියැදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය, ආන්ත්‍රාකාරී ධාවනය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගෙන ධාවනය කිරීම පිළිබඳව හොඳින් පරීක්ෂා කර බලා තොරතුරු ලබාගෙන සෑම දිනකම උදෑසන වාර්තාවක් ලබාදිය යුතු බවටද දැනුම් දී තිබෙනවා’’ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments