Homeදේශීයනලින්ද යන්නෙත් කෙහෙළිය ගිය පාරෙමද?

නලින්ද යන්නෙත් කෙහෙළිය ගිය පාරෙමද?

සම තරගකාරීත්වය සහිත මිල ගණන් කැඳවීම, අවම මිල තෝරා ගැනීම යන මූලික ප්‍රසම්පාදන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරටට අවශ්‍ය ඔෂධ
ගෙන්වීමට රජය සූදානම් වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සඳුදා ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කරුණු හෙළිදරව් කළ පුබුදු ජයගොඩ…

ඖෂධ සැපයුමට අදාළ රටවල් තෝරා ගැනීම විදේශ අමාත්‍යංශයට

”රජයේ රෝහල්වලට ඖෂධ මිලදී ගැනීමේ දී පරණ සෙල්ලම ආපහු යනවා. මීට කලින් වුණේ ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාද කළා. අවශ්‍ය කාලයේ දී ඇණවුම් කලේ නෑ. ඖෂධ හිඟයක් ඇති වෙන්න ඉඩ ඇරලා, ඊට පස්සේ හදිසි මිලදී ගැනීම් කළා. මිල වැඩි සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගත්තා. ඒක වෙනස් කරනවා කියලා බලය ගත්තට මේ ආණ්ඩුව යටතේත් ඒ ක්‍රමය එලෙසම ඉදිරියට යනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.

කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන කැබිනට් පත්‍රිකාවක් ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා. 2025 මාර්තු 29 දින කරන ලද ගණන් බැලීම්වලට අනුව ජූනි දක්වා ඉදිරි මාස තුනේදී ඖෂධ වර්ග 313ක හිඟයක් ඇති වන බවත් ඒ අතරින් ඖෂධ වර්ග 202ක් සපයා ගැනීමට හැකියාව ඇති බවත් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීමට නියමිතයි.

ඉතිරි ඖෂධ වර්ග 101 සම්මත ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිවලින් බැහැරව ආණ්ඩු සහ ආණ්ඩු අතර ගනුදෙනුවකින් සපයා ගන්න මේ කැබිනට් පත්‍රිකාවේ 2.3 හා 2.4 වගන්තිවලින් සෞඛ්‍ය ඇමතිවරයා යෝජනා කරනවා. එහි දී සම තරගකාරීත්වය සහිත මිල ගණන් කැඳවීම, අවම මිල තෝරා ගැනීම යන මූලික ප්‍රසම්පාදන කොන්දේසි උල්ලංඝනය කිරීමට නියමිතයි.

නව ක්‍රමවේදය සකස් කිරීම සඳහා නිලධාරීන් 7 දෙනෙකුගෙන් යුතු කමිටුවක් නම් කරන්නත්, ඖෂධ සැපයුමට අදාළ රටවල් තෝරා ගැනීම විදේශ අමාත්‍යංශයට පවරන්නත් ඇමතිවරයා යෝජනා කරනවා.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.1 වගන්තියට අනුව ටෙන්ඩර් නොකැඳවා සෘජු ඇණවුම් ලබාදිය හැක්කේ අවස්ථා හතරක දී පමණයි. ඒ එම ඖෂධය නිෂ්පාදනය කරන්නේ එක නිෂ්පාදකයෙකු පමණක් වන විට, හදිසි වසංගතයක් වැනි තත්ත්වයක් උද්ගත වූ විට, බරපතළ ඖෂධ හිඟයක් ඇති විට, එම ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරන විට යන අවස්ථාවල දී පමණයි.

දැන් දඩමීමා කර ගන්න යන්නේ ඖෂධ හිඟය යන හේතුව. නමුත් හිඟය ඇතිවුනේ කොහොම ද? 2024 අගෝස්තු මාසයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය ඇමතිව සිටි රමේෂ් පතිරණ මෙතෙක් සිටි ඖෂධ සැපයුම්කරුවන් වෙනස් කර හිතවතුන් පිරිසකට ඇණවුම් දෙන්න උත්සහ කළා. විරෝධයක් ආවාම දැනට සිටි සැපයුම්කරුවන් සහ යෝජිත නව සැපයුම්කරුවන් යන දෙපාර්ශවයට ම ඇණවුම් ලබා නොදී සිටියා. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ බලපෑම් මත ඖෂධ ටෙන්ඩර් නොකැඳවා කෙළින් ම ඉන්දියාවෙන් මිලදී ගන්න හැදුවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ රනිල් – රමේෂ් ඇටවූ උගුලේ ම සිරවී සිටියා.

2026 වසරට ඖෂධ සපයා ගන්න ක්‍රමවේද හදමින් සිටියා මිස 2025 වසරට අවශ්‍ය ඖෂධ සඳහා අවම වශයෙන් 2024 නොවැම්බර් – දෙසැම්බර් වනවිටවත් ඇණවුම් ලබා දෙන්න ක්‍රියා කළේ නෑ. දැන් හිඟයක් ගැන කියලා වැඩක් නෑ. ටෙන්ඩර් කැඳවීම සහ ඇණවුම් ලබාදීම ප්‍රමාද කළේ ඇයි? දැන් නැවත ඉන්දියාවට ඖෂධ සැපයුම් ජාලය සම්බන්ධ කරන්න මේ කැබිනට් යෝජනාව එන්නේ. බොරුවට වෙන රටවල නම් කිව්වාට අන්තිමට මේක ගන්නේ ඉන්දියාව. ගිය අවුරුද්දේ ගහපු ගැටේ මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ.

ලංකාවේ සෞඛ්‍ය සේවය යළි කෙහෙළියගේ යුගයට ඇදගෙන යයි ද…?
මේක ලොකු ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රසම්පාදන රෙගුලාසිවලින් බැහැරව සෘජු ඇණවුම් දීම නිසා ප්‍රමිතියෙන් බාල ඖෂධ රට තුළට එන්න පුළුවන්.

අපට අනෙක් රටවලට සම අවස්ථා නොදීම නිසා වැඩි මිලක් ගෙවන්න සිදු වෙන්න පුළුවන්.

මේ අතරින් ඇතැම් ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන නිසා අපේ රටේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටෙන්න පුළුවන්.

ඒවායේ සේවය කරන අයගේ රැකියා අහිමි වෙන්න පුළුවන්.

අපේ ඖෂධ සැපයුම විදෙස් රටක් දෙකක් මත රඳා පැවතීම නිසා රටේ ස්වෛරීත්වයට පවා අවදානමක් එනවා. රට තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධ ආනයනය කිරීම නිසා විදේශ විනිමය අහිමි වෙනවා.

මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. අපි ආණ්ඩුවට බල කරනවා ලංකාවේ සෞඛ්‍ය සේවය කෙහෙළියගේ යුගයට නැවත ඇදගෙන යන්න එපා කියලා.

ඉන්දියානු බලහත්කාරය ඉදිරියේ දන නොනමනු…!

”කෘත්‍රිම ඖෂධ හිඟයක් මවලා, හදිසි මිලදී ගැනීම්වල නාමයෙන් ඉන්දියාවේ කුණු ගොඩවල් අපේ රෝහල් වල ගොඩ ගහන අපරාධය කරන්න එපා. මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන එක ඇමතිවරුන්ගේ වගකීමක්. හදිසි සැපයුම් සඳහා හැකියාව ඇති අයගේ විවෘත කැඳවීමක් කරන්න. රට තුළ අමතර තොග තිබේදැයි සැපයුම්කරුවන්ගෙන් විමසන්න. නිසි කලට ඇණවුම් ලබා නොදීමට වගකිව යුතු නිලධාරීන් ගැන විමර්ශනයක් කරන්න. තෝරාගත් රටවල් වෙනුවට හැම රටකටම සම අවස්ථා දෙන්න. කෙටියෙන්ම කිව්වොත් රනිල්ගේ උගුලෙන් එළියට එන්න, ඉන්දියානු බලහත්කාරය ඉදිරියේ දණ නොනමා කෙළින් ඉන්න. ඉතිරි හැම ක්ෂේත්‍රයකදී වගේම සෞඛ්‍ය සේවයේදීත් උත්තරය ඒකයි.”

RELATED ARTICLES

Most Popular

Recent Comments