පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබෙනවා.
ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා පැවසුවා.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ ද තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා පවසා සිටියා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මැයි මස 7 වෙනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
මීට අමතරව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන්ට අද සිට මැයි මස 7 වන දින දක්වා නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එම නිවාඩුව අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දිනයන්හි බස්නාහිර පළාතේ අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සියලූම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.
කිසියම් වාහනයකට අදාළව වාහන ආදායම් බලපත්‍රයේ වලංගු කාලය අදාළ දිනවල දී අවසන් වන්නේ නම් දඩ අයකිරීමකින් තොරව රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේදීම එම වාහන සඳහා බලපත්‍ර ගාස්තුව පමණක් ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළා.
මේ අතර නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලයද අද සහ හෙට යන දෙදින වසා තැබීමට නියමිතයි.
ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙන්.