Homeදේශීයරැකියා දහස් ගණනක් අවදානමට

රැකියා දහස් ගණනක් අවදානමට

අප්‍රේල් 9 වැනි දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ‘අන්‍යෝන්‍යය’ තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හේතුවෙන් රැකියා දහස් ගණනක් අවදානමට ලක්ව ඇති බවට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය(Joint Apparel Association Forum (JAAF)) පවසන්නේ, එක්සත් ජනපද පාලනය විසින් ප්‍රකාශයට පත්කරන ලද අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳව සිය කනස්සල්ල පළකරන බවයි.

යෝජිත නව තීරුබදු විසින් රටේ විශාලතම අපනයන අංශය සැළකිව යුතු ලෙස කඩාකප්පල් කළ හැකි අතර, දහස් ගණනක් රැකියා අවදානමට ලක්කළ හැකි බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 2 වැනි දින කරන ලද නිවේදනයකින් පසුව, සියලුම ආනයන සඳහා 10% ක මූලික තීරුබද්දක් අප්‍රේල් 5 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් 9 වැනි දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ‘අන්‍යෝන්‍ය’ තීරුබද්දක් දක්වා එය වැඩිකෙරේ.

“අපගේ කලාපීය තරඟකරුවන්ට සාපේක්ෂව මෙම තීරුබදු මට්ටම අතිශයින් ඉහළයි,” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් පවසයි. “ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහිත රටවලට එක්සත් ජනපද ව්‍යාපාරවල තම කොටස වෙත ඉතා ඉක්මණින් ගමන් කරනු දැකිය හැකිය”.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම තනි-රට ඇඟලුම් වෙළඳපොළ වේ. එය එම අංශයේ මුළු අපනයනවලින් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර, එය 2023 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ගියේය.

“බදු කඩිනමින් ක්‍රියාත්මක වීමත් සමඟ, බලපෑම වේගවත් හා දරුණු වනු ඇත. එමනිසා අපගේ එක්සත් ජනපද ව්‍යාපාරයෙන් වැඩි ප්‍රමාණයක් තරඟකාරී වෙළඳපොළවල් වෙත සංක්‍රමණය වනු අපට දැකගත හැකිය,” ලෝරන්ස් තවදුරටත් පැවසීය. “මෙම ව්‍යාපාර පරිමාව වෙනත් වෙළඳපොළවල් හරහා ප්‍රතිස්ථාපනය කළ නොහැක.”

සුදුසු ක්‍රියාමාර්ගයක් තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් කර්මාන්තය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

“මෙම තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා රජය විසින් ගනුලැබූ ක්ෂණික ක්‍රියාමාර්ග අපි බෙහෙවින් අගය කරමු. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන IMF වැඩසටහනේ සීමාවන් තුළ රැඳීසිටිමින්, එක්සත් ජනපද රජය විසින් මතුකරන ලද ගැටළුවලට අපට හැකි හොඳම ආකාරයෙන් විසඳුම් ලබාදිය හැකි ආකාරය බැලීමට බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කරන්නෙමු,” ලෝරන්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments