Homeදේශීයරඳවා ගැනීමේ බදු සහනය ඉල්ලුම් කිරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය TIN...

රඳවා ගැනීමේ බදු සහනය ඉල්ලුම් කිරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය TIN අනිවාර්යයි.

පොලී ආදායමක් සහිත නමුත් බදු අය කළ හැකි ආදායමක් (තක්සේරු වර්ෂය තුළ රුපියල් ලක්ෂ 18 ක ආදායමක්) නොමැති පුද්ගලයන් “රඳවා ගැනීමේ බදු“ සහනය ඉල්ලුම් කිරීමේදී ඔවුන් සතුව “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය“ (TIN) තිබිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“රඳවා ගැනීමේ බද්ද’’ නැවත ඉල්ලා සිටීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

පොලී ආදායම සියයට 10 ක අනුපාතයකින් අත්තිකාරම් ආදායම් බද්දට (රඳවා ගැනීමේ බද්ද) යටත් වන නමුත්, තක්සේරු වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18 ක පුද්ගලික සහන මුදල නොඉක්මවන අයකුට පොලී ගෙවීම් මත රඳවා ගැනීමේ බදු සහනය ඉල්ලා සිටීමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සඳහා අදාළ පුද්ගලයන් විසින් ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අදාළ තක්සේරු වර්ෂය සඳහා අදාළ පුද්ගලයාගේ සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවිය යුතුය.

මෙම ස්වයං ප්‍රකාශ ආකෘති පත්‍රය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

මෙහිදී සියලු ප්‍රකාශකයන් සතුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) තිබිය යුතු අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී එම අංකය ලබා ගත යුතුය. මේ අනුව, රඳවා ගැනීමේ බදු මුදල ගෙවන ලෙස අදාළ බැංකු වෙත ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ ටින් අංකය ද සහිතවය.

බද්ද ගිණුම් හිමිකරුවන් ස්වයං ප්‍රකාශ භාරදීමට අපේක්ෂා කරන්නේ නම්, අදාළ එක් එක් බද්ධ ගිණුම් හිමිකරු විසින් පොලියේ සිය කොටස් සඳහා වෙන වෙනම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

මෙම ස්වයං ප්‍රකාශය වලංගු වන්නේ එක් වසරක අප්‍රේල් මස පළමුවන දිනෙන් ආරම්භවී ඊළඟ වසරේ මාර්තු 31 වන දිනෙන් අවසන් වන මාස 12 කාල සීමාවකින් සමන්විත වන එක් තක්සේරු වර්ෂයක් සඳහා පමණක් බවද අදාළ චක්‍ර​ලේඛයේ දැක්වේ.

අදාළ ස්වයං ප්‍රකාශ මගින් සපයා තිබෙන තොරතුරුවල නිරවද්‍යතාවය සත්‍යදැයි තහවුරු කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ බැංකු සහ මූල්‍ය ආයතනවලින් එම ප්‍රකාශිත තොරතුරු එක් රැස් කරගන්නා බවත්, එම තොරතුරුවල නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමට අදාළව මෘදුකාංග වැඩසටහනක් සකස් කර ඇතැයි ද චක්‍රලේඛයේ දැක්වේ.

මේ පිළිබඳව වැඩි විස්තර “1944“ කෙටි දුරකථන අංකය ඔස්සේ දේශීය ආදායම් ඇමතුම් මධ්‍යස්ථානයෙන් තොරතුරු ලබාගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්. ප්‍රනාන්දු සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments