රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් බෙදාහැරීම සුපුරුදු පරිදි සිදුවෙමින් පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහතික වී තිබේ.
කෙසේවෙතත්,ඊයේ පස්වරුවේ සිට කොළඹ මෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, එමඟින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව කනස්සල්ලක් ඇතිවිය.
ඉන්ධන පිරවුම්හල් 1,400 ක් නියෝජනය කරන ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය, කොමිස් අනුපාත සම්බන්ධයෙන් රජය සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට නව ඉන්ධන ඇණවුම් ලබාදීම නවත්වන බව නිවේදනය කර තිබේ.
එසේම සියලුම රාජ්‍ය ආයතනවලට ණයට ඉන්ධන සැපයීම නතර කිරීමට ද සංගමය තීරණය කර තිබේ.
ඉන්ධන බෙදුම්කරුවන්ට ලබාදෙන 3% ක කොමිස් මුදලක් අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණයෙන් පසුව සංගමය මෙම පියවර ගෙන තිබේ.
පාරිභෝගිකයන්ට සිදුවන ඕනෑම අපහසුතාවයක් සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාරිත්වය වගකිව යුතු බව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ඉන්ධන ඇණවුම් නැවැත්වීමට නියමිතව ඇති බැවින්, සැපයුමේ ඇති විය හැකි බාධා පිළිබඳව කනස්සල්ල වැඩිවෙමින් පවතී. තෙල් හිඟයක් නොමැති පසුබිමක කෘතිම ඉන්ධන හිඟයක් ඇති කරනු ලැබ රජය අස්ථාවර කිරීම සඳහා කුඩා කණ්ඩායමක් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි මේ වනවිට පැනනැගී ඇති තත්ත්වය යටතේ සැකයක් ඇතිවන බවත්, මේ පසුපස යම් දේශපාලනයක් ඇතිනම් කිව යුතු වන්නේ එවැනි කඩාකප්පල්කාරී කටයුතුවලට රජය ඉඩ නොදෙන බවට අවධාරණය කරන බවත් ඉන්ධන පෝලිම් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ මුදල් නියෝජ්‍ය අමත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දයාසිරි ජයසේකර පැවසුවේ ඉන්ධන ඇනවුම් කිරීම විශාල ලෙස අඩු වී තිබෙන බවය. කිව්.ආර්. කේතය භාවිතා කරන අවස්ථාවටත් වඩා තුනෙන් අඩකට වැඩි අඩුවක් පසුගිය 27 වැනිදා වාර්තාවන බව ද ඔහු කීවේය.
“ඊයේ තිබුණ රැස්වීමට බෙදුම්කරුවො සියලු දෙනා ඇවිත් තිබුණා. ඔවුන් එක හෙළා ඒකමතික තීරණයට පැමිණියා. කරුණාකරලා මේ අයත් එක්ක සාකච්ඡා කරලා යම් තීන්දුවකට එන්න. ඒ අය නැවත වරක් රිට් එකකට යන්න හදන්නේ. මේක නතර වෙන්නේ උසාවියෙ.” මන්ත්‍රීවරයා කීවේය.
එහිදී නැගී සිටි මහාචාර්ය අනිල් ජයන්ත මෙසේ පැවසුවේය.
“කිසිදු තෙල් හිඟයක් ඇත්තේ නෑ. තෙල් හිඟයක් ඇති වෙන්න දෙන්නේ නෑ. පෝලිම් තියනවා. තියෙන්නේ නිර්මාණය කරගත්ත පෝලිම් ටිකක්.