Homeදේශීයමානව හිමිකම් ගැන විජිත ජිනීවා - රනිල් කොළඹ

මානව හිමිකම් ගැන විජිත ජිනීවා – රනිල් කොළඹ

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ මට්ටමේ කොටසේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් කළේය.

සිය දේශනයේදී, අමාත්‍ය හේරත්, මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර, රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.

ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“මීට මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් රට ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිවර්තනයක් කරා යොමු කිරීමට ශක්තිමත් ජනවරමක් සහිත නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ප්‍රගතිශීලී තීරණයක් ගනු ලැබීය.

ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී ඇත. සංහිඳියා ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් සමනය කිරීමට ඇති කැපවීමට අනුකූලව ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ගැටුම්වලින් පැනනගින අභියෝගවලට මුහුණදීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය යාන්ත්‍රණයන් සහ ක්‍රියාවලීන් ව්‍යවස්ථාමය රාමුව තුළ ස්වාධීනව සහ විශ්වාසනීය ලෙස තම කටයුතු කරගෙන යන බවට අපි සහතික වෙමු.

මේ අතර,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසුවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය ප්‍රමුඛ මෙරට දේශපාලන පක්ෂ දැනුවත්ව සිටිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments