තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යැවූ ලිපිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පිටවූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට උපදෙස් දී තිබෙනවා.
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝතනයට සමබන්ධ බවට කියන සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට ඔහු කලින් දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසට අදාළ ලිපියෙන් රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙම ලිපිය පිටකර ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඔහු මෙලෙස නියෝග කර තිබුණා.
මේ වන විටත් අදාල කරුණ පිළිබදව දුරකථනය ඔස්සේ පොලිස්පතිවරයාට කරුණු දක්වා ඇති නීතිපතිවරයා, හෙට දිනයේ දී ලිඛිතව ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට සූදානමින් සිටින බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට නිර්දේශ කළේ පසුගිය ජනවාරි 27 වැනිදායි.
ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 06 වැනිදා සාකච්ඡාවක් සදහා නීතිපතිවරයා කැදවීමට ද ජනාධිපතිවරයාට සිදු වුණා.
මෙම රැස්වීමේදී නීතිපතිවරයා සිය ස්ථාවරයේ සිටියේ සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
කෙසේ වෙතත්, නව සාක්ෂි මතු වුවහොත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ හැකි බව නීතිපතිවරයා එහිදී සඳහන් කර තිබුණා.
පසුගිය සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළ නව කරුණු ඇතුළත් ෆෝල්ඩර තුනක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
වික්‍රමතුංග මහතාගේ රියැදුරු කරුණාරත්න ඩයස් විසින් කරන ලද පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නිදහස් කිරීමට ඔහුගේ උපදෙස් මත ක්‍රියා කිරීමට තවත් කල් දෙන ලෙස රහස් පොලිසිය අඟහරුවාදා ලිපියක් යොමු කර තිබුණා.
දින 14ක් ඇතුළත නීතිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කිරීමට රහස් පොලිසිය බැඳී සිටියද, ඒ සම්බන්ධයෙන් ඇති වූ මතභේදය හේතුවෙන් ක්‍රියා කිරීමට තවත් කල් දෙන ලෙස නීතිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ අත්සනින් පසුගිය 13 වැනිදා සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම අත්හිටුවන ලෙසට ලිපියක් නිකුත් කෙරුණා.
මෙම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට පෞද්ගලිකව ලබාදී තිබියදී එහි ඇතුළත් කරුණු මාධ්‍යයට හෙළි වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරන ලෙස නියෝග කරමින් නිකුත් කර තිබුණු ලිපියට අත්සන් තබා තිබුණේ නීතිපතිවරයා විසින් වුවද, එම නියෝගය තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපියට අත්සන් තබා තිබෙන්නේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය නමැති අයෙක් වනවා.