HomeදේශීයNGO ගැන විමල්,නාමල් දැඩි ස්ථාවරයක

NGO ගැන විමල්,නාමල් දැඩි ස්ථාවරයක

මෙරට දේශපාලනඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකාවේ යූඑස්ඒඩ් හා එන්ඊඩී ආයතනවලින් ලබාගත් මුදල් වියදම් කළ ආකාරය ආණ්ඩුව සහ විපක්ෂය රටට හෙළි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවසීය.

රෙජීම් චේන්ජ් යැයි කියමින් පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට, සංක්‍රාන්ති ලිංගිකයන් ප්‍රවර්ධනය කිරීමට, බෞද්ධ විරෝධී මතවාදයක් නිර්මාණය කිරීමට, මාධ්‍ය හා යූටියුබ් චැනල් පවත්වාගෙන යෑමට ඇමෙරිකානු ආයතන දෙක රුපියල් කෝටි 240කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි ද හිටපු මන්ත්‍රිවරයා කීය.

යූඑස්ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම පොදු වචන මාලාවක් ඉගැන්වීමට ඇමෙරිකා ඩොලර් මිලියන 7.9ක් (දළ වශයෙන් රුපියල් කෝටි 240ක වැඩි මුදලක්) වියදම් කර තිබෙන බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතයෙකු වන ඉලොන් මස්ක් අනාවරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව කීවේය.

යූඑස්ඒඩ් ආයතනය සංවර්ධනය මුවාවෙන් පෙනී සිටින බව කී හෙතෙම එය අධිකරණ ක්ෂේත්‍රයට අරමුදල් සම්පාදනය කර තිබෙන බවත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඉහළ පෙළේ විනිසුරන්ට විදේශ සංචාර ලබා දී තිබෙන බවත් පැවැසීය.

එසේම, එන්ඊඩී ආයතනය රෙජීම් චේන්ජ් සිදුකිරීමට සහාය දෙන ආයතනයක් බව කී වීරවංශ මහතා රාජ්‍යයන්වල පාලන තන්ත්‍රය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට පටහැනි නම් එම ආණ්ඩුව අතරමගදී කඩා බිඳ දැමීමට මුදල් සම්පාදනය කර ඇතැයිද සඳහන් කළේ ය.

මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් දෙදෙනකු වන පාක්‍යසෝති සරවනමුත්තු සහ ජෙහාන් පෙරේරා යූඑස්ඒඩ් අරමුදල් නතර කිරීම පිළිබඳව කණගාටු වී ඇතැයි කී හෙතෙම එන්ජීඕ සංවිධානවලට ඉන් සිදුව ඇති බලපෑම පෙන්නුම් කරන බව සඳහන් කළේ ය.

සංක්‍රාන්තික ලිංගික විපර්යාසකයන් ප්‍රවර්ධන කරන වැඩසටහන්වලට ජනතා විමුක්ති පෙරමුණ පමණක් දායක වී ඇතැයි කී වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය නිදහසේ අභිමානි පාගමන – 2023 නමින් එල්ජීබීටීකිව් ප්‍රජාව වෙනුවෙන් පා ගමනක් සංවිධානය කර තිබූ බව පැවසීය.

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය 2015 වනතුරු පාක්‍යසෝති සරවනමුත්තුගේ ආයතනයක සේවය කළ බවත් ඇය අගමැති ධූරයට පත්වූ පසුව යූඑස්ඒඩ් ආයතනය අරමුදල් යෙදවූ වැඩසටහනක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබෙන බවත් ඔහු කීය. පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යෝජනා කරයි.

සිය X ගිණුමේ පණිවිඩයක් තබමින් මන්ත්‍රිවරයා පවසන්නේ, තමන් කතානායකවරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කරන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments