වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර ඇතුළුව මේවනවිට පළාත් පාලන ආයතන 03 සභාපතිවරු පාතාලයේ වෙඩි ප්රහාරවලින් ඝාතනය වී ඇත.
ඒ හැරුණු කොට පළාත් පාලන මන්ත්රීවරුන් ද සැලකිය යුතු පිරිසක් පාතාලයේ වෙඩි ප්රහාරවලින් ඝාතනය වී තිබේ.
පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඝාතනය වූ තෙවැනි අවස්ථාව වන්නේ ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනයයි. මෙම ඝාතන තුනම සිදුව ඇත්තේ දකුණේ වීම විශේෂිතය.
2003 වසරේදී හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණි පින්නදූව මහතාව ද ඝාතනය කරනු ලබන්නේ මේ ආකාරයටමය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු නගර සභාවේ සිය කාර්යාලයේ රැඳීසිටි ගාමිණි පින්නදූව මහතාට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
අනතුරුව ඝාතනය වන්නේ රත්ගම ප්රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාය.
2015 වසරේ මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කරන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයකදීය. හික්කඩුව නගර සභාවේ සභාපති ඝාතනයට මෙන්ම රත්ගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙක් මෙන්ම ඔහුගේ ප්රතිවාදියා වූ අපේක්ෂකයෙක් ඡන්දය පැවති කාලයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවා එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැවිණි.
ඒ සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතවද සිටි අතර වැඩිම මනාපයෙන් රත්ගම සභාපති ධුරයට පත්වන්නේ ද රක්ෂිත බන්ධනාගාරයේ සිටිමිනි.
ඔහු මිනිස් ඝාතන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ද චෝදනා එල්ල වූවෙකි. අපරාධ ලෝකයට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළාතින් පිට පළාතක හිටපු මහ ඇමැතිවරයෙකි. මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරනු ලබන්නේ දකුණේ ප්රබල පාතාල අපරාධකරුවෙක් වන පොඩි ලැසීය. එම ඝාතනයට මුල පොඩි ලැසීගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමකි.
පළාත් පාලන ආයතනයක වැඩිම මන්ත්රීවරුන් පිරිසක් ඝාතනය වී ඇත්තේ කොළඹ මහ නගර සභා මන්ත්රීවරුන්ය.
මේ කාලය තුළ සිවු දෙනෙක් ඝාතනය වී ඇත. එම ඝාතනවලින් බොහොමයකට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ආරවුල් බව එකල හෙළි විය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්රීවරු දෙදෙනෙක් ද පාතාලයේ වෙඩි ප්රහාරයන්ට ලක්ව ඝාතනය විය. ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනංජය සිල්වාගේ පියාව පවා ඝාතනය කරනු ලබන්නේ පාතාලය විසිනි. අදටත් එම පාතාල අපරාධකරුවන් සිටින්නේ නිදැල්ලේය



