Homeදේශීයගිනිතැබූ නිවසට රනිල් වන්දි අරන් නැද්ද?

ගිනිතැබූ නිවසට රනිල් වන්දි අරන් නැද්ද?

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේ දී මැතිඇමතිවරුන්ගේ නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබාගත් බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඉදිරිපත් කළ ලැයිස්තුවෙහි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම නොමැති වීම විස්මය දනවන කරුණක් බවට පත්ව තිබේ.

කොල්ලුපිටිය, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවස ද අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කිරීමෙන් පසුව ඔහු රජයේ නිල නිවසක වාසය කළ අතර, සිය නිවස පිළිසකර කිරීමෙන් පසුව ඔහු නැවතත් එහි පදිංචිව ඇති බවට වාර්තා විය.

ඔහු යළි තම නිල නිවස රජයට බාරදුන් බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද කිහිපවරක් පැවසීය.

එහෙත් රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනිතබා විනාශ කිරීමෙන් පසුව යළි පිළිසකර කළ ද ඒ පිළිබඳ අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ නොතිබිණි.

‍යම් හෙයකින් රජයේ මුදලින් එම නිවස පිළිසකර කර දුන්නේ නම් මෙම ලැයිස්තුවේ එය ද සටහන් විය යුතු අතර රනිල් වික්‍රමසිංහ තමාගේ පෞද්ගලික ධනයෙන් එය පිළිසකර කරගත්තේ නම් මෙම ලැයිස්තුවේ එම නම නොතිබීම සිදුවිය හැක්කකි.

කෙසේවෙතත් නඩු කටයුතුවලට පවා නිමිත්තක් වූ රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනිතැබීම නිසා වූ විනාශය පිළිසකර කෙරුණු ආකාරය පිළිබඳ රජය හෙළිකිරීම ‍ජනතාවට පැනනැගෙන ගැටලුවට විසඳුම් සපයනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ නිවසේ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් ඇතුළත් දැවැන්ත පුස්තකාලයක් තිබූ අතර එය කොළඹ විශ්විද්‍යාලයට පැවරෙන පරිදි සහ එම නිවසේ අයිතියද ඔවුන්ගෙන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට පැවරෙන ලෙස කටයුතු කර තිබූ බවටද ඇතැම් වාර්තාවල පළවිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments