වෛද්‍යවරුන් ඇතුළු මෙරට වෘත්තීයවේදීන් මුහුණ දෙන බදු පීඩනය සැලකිල්ලට ගෙන, ඉදිරි අයවැය මඟින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.
එම සංගමය පෙන්වා දෙන්නේ සමස්ත රාජ්‍ය බදු ආදායමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකි විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
පසුගිය වසරේදී රජය මෙරට ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කරමින් රුපියල් බිලියන 5,400කට අධික මුදලක් (ඇමරිකානු ඩොලර් බිලියන 18කට ආසන්න) උපයා ගැනීමට සමත්ව ඇති බව එම සංගමය සඳහන් කරයි.
උපයන විට බදු ගෙවීමේ (PAYE) ක්‍රමවේදය යටතේ ලැබුණු ආදායම, අපේක්ෂිත ඉලක්කයට වඩා 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.
වත්මන් බදු ක්‍රමය යටතේ වෘත්තිකයෙකුගේ මාසික වැටුපෙන් 36%කට ආසන්න ප්‍රතිශතයක් සෘජු ආදායම් බදු ලෙස අය කෙරේ.
වැටුපෙන් අයවන සෘජු බදුවලට අමතරව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන වැට් (VAT) ඇතුළු වක්‍ර බදු හේතුවෙන් වෘත්තිකයින් දැඩි ආර්ථික අසීරුතාවකට මුහුණ පා සිටී.
රට තුළ පවතින බදු පීඩනය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ විවිධ ක්ෂේත්‍රවල උගතුන් දිවයින හැර යාම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
මෙරට සතු වටිනා මානව සම්පත රැකගැනීම සඳහා කඩිනම් උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව බුද්ධිමතුන්ගෙන් තොර “දැනුම් කාන්තාරයක්” (Knowledge Desert) බවට පත්වීමේ බරපතල අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා රජය විසින් උපයන විට බදු (PAYE) සීමාවන් සංශෝධනය කරමින් ඉහළ බදු ප්‍රතිශත හඳුන්වා දෙන ලදී.
එම ක්‍රමවේදය හරහා රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් ස්ථාවර වුවද, මාසික ස්ථාවර වැටුප් ලබන වෘත්තීයවේදීන් මත පැටවුණු බදු බර හේතුවෙන් දැවැන්ත ‘බුද්ධි ගලනයක්’ (Brain Drain) නිර්මාණය විය. මේ වන විට රජය ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් සිටින පසුබිමක, ඉදිරි අයවැය ලේඛනය මඟින් වෘත්තිකයින්ට සාධාරණ සහනයක් බලාපොරොත්තු වන බව වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටියි.



