වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ තාඩන පීඩන වලට බිය නොවන බවත්, එසේම හිරේ දැම්මත් ආණ්ඩුවට තම කශේරුකාව නොනමන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කොළඹ පදනම් ආයතනයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ 4 වන වාර්ෂික සමුළුවේදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
පාඨලී චම්පික මහතා කියා සිටියේ ඉතිහාසය පුරාම දීර්ඝ කාලයක් බලය රඳවාගැනීමට උත්සහ කළ පාලක පාලිකාවන්ට ඉතාමත් නරක මෙන්ම දරුණු අත්දැකීම්වලට මුහුණදෙන්නට සිදු වූ බවයි.
එසේම රටේ ප්රජාතන්ත්රවාදයත්, බහුවිධ පක්ෂ ක්‍රමයත් නැති කිරීමට ඉඩ නොදෙන බවත් තනි පක්ෂයක කුඩා කණ්ඩායමක් රට පාලනය කිරීමට එරෙහිව තමන් සටන් කරන බවටත් පාඨලී චම්පික මහතා සඳහන් කළා.
ඔහු පවසා සිටියේ කොළඹ නගරයේ කැලිකසළ ප්රශ්නය, ගංවතුර ප්රශ්නය විසඳුවේ පෙර පැවති ආණ්ඩු බවත් එසේම පැය විසිහතර පුරාම විදුලිය ලබා දී ඇත්තේ ද එම ආණ්ඩුවලින් වන බවයි.
එම සංවර්ධනයට කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි බව පාඨලී චම්පික මහතා ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ රටේ සූර්ය බලය, කුඩා ජල විදුලි බලය හා සුළං බලය පාලනය කිරීමට ආණ්ඩුව තම ගජ මිතුරු ජාවාරම්කරුවන් දෙදෙනෙකුට ඉඩ ලබා දී ඇති බවයි.
පාලක ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ සිත් තුළ පරපීඩක මානසිකත්වයක් ඇති කිරීමට සමත්ව ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.
මේ අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.



