Homeදේශීයඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කරයි

ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කරයි

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය.

එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමටද නියමිතය.

මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments