විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය හැකි නම් මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය රජයට සහ ජනාධිපතිවරයාට බලකර සිටී.
පසුගිය 08 වනදා යුක්තිය උදෙසා ජනතා සාමූහිකය මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී ඇති වූ සාකච්ඡාව විකෘති කරමින් රජයට හිතවත් මුහුණු පොත් පිටුවක් (Facebook Page) විසින් කර තිබූ වාර්තාකරණයකට ප්‍රතිචාර දක්වමින් එම සාමූහිකය මේ බව සඳහන් කර ඇත. මෙම හමුව සඳහා දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන රැසක සහ වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
එම සාකච්ඡාවේදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන ලද බවයි.
ජනමාධ්‍යවේදීන් ඉවත් වීමෙන් පසුව ද තමන් මහානායක හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වූ බවත්, සදාචාරාත්මක හේතූන් මත එහිදී සිදු වූ පෞද්ගලික අදහස් හුවමාරු කර ගැනීම් මාධ්‍ය වෙත විවෘතව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් නොමැති බවත් එම සාමූහිකය පවසයි. එහෙත් අදාළ ලිපිය පිළිබඳ තොරතුරු වසන් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමට රජය දරන උත්සාහය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද ඔවුහු සඳහන් කරති.
මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව පැහැදිලි බැවින්, එම ලිපිය හැකි නම් ජනමාධ්‍ය වෙත ප්‍රසිද්ධ කර පෙන්වන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. එසේ නොකරන්නේ නම්, එමඟින් ආණ්ඩුවේ සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පැහැදිලි වන බව ද දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



