ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පාරිසරික හිතකාමී විසඳුමක් ලෙස ‘උණ බම්බු’ ජීව-වැටවල් (Bamboo Bio-fences) ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පර්යේෂණාත්මක සහාය ලබාදීමට චීනය එකඟතාව පළකර තිබේ.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් චීනයේ බීජිං නුවර පිහිටි ‘බම්බු සහ පන් පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ’ (ICBR) සිදුකළ නිල අධ්‍යයන සංචාරයකදී මෙම එකඟතාවට පැමිණ ඇත.
එහිදී එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී උණ බම්බු වගාව, උසස් සැකසුම් තාක්ෂණයන් සහ උණ බම්බු ආශ්රිත කාර්මික නිෂ්පාදන පිළිබඳ අවධානය යොමුකෙරුණු අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන පාරිසරික, ආර්ථික හා දේශපාලනික සබඳතා තවදුරටත් තහවුරු කරගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජීව-වැටවල් සංකල්පය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය මෙහිදී නිල වශයෙන් ඉල්ලා සිටි අතර, ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් තාක්ෂණික උපදෙස්, පර්යේෂණ හා සංවර්ධන සහාය ලබාදීමට චීන පාර්ශ්වය එකඟ විය.
මෙම ව්‍යාපෘතිය මගින් අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලැබෙනවාට අමතරව, උණ බම්බු ආශ්රිත කර්මාන්ත හරහා ප්‍රදේශවාසී ජනතාවගේ ජීවනෝපාය නැංවීමට සහ ආර්ථික අවස්ථා උදාකර ගැනීමට හැකිවන බව චීන නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටද මෙය මහත් රුකුලක් වනු ඇත.



