Homeදේශීයසල්ලි අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් IMF

සල්ලි අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් IMF

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇගයීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායම, මෙරට මූල්‍ය විනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් පිළිබඳව දැඩි නිරීක්ෂණයක නිරත වෙමින් සිටී.

IMF හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපගෙයෝර්ගියු (Evan Papageorgiou) ගේ නායකත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ජූනි 24 සිට ජූනි 30 දක්වා කොළඹදී කාර්ය මණ්ඩල මට්ටමේ (Staff-level) සාකච්ඡා පවත්වන අතර, මෙහි ප්‍රගතිය මත ඩොලර් මිලියන 335–350ක් වටිනා 8 වැනි ණය වාරිකය නිදහස් කිරීම තීරණය වේ.

මැදපෙරදිග පවතින යුද වටපිටාව සහ මෑතකදී බලපෑ “දිත්වා” (Ditwah) සුළි සුළඟ හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, ඉන්ධන පිරිවැය වැඩිවීම සහ සංචාරක ආදායම් සීමා වීම නිසා ශ්‍රී ලංකාවට 2026 වසර සඳහා පනවා තිබූ මූල්‍ය ඉලක්ක ලිහිල් කිරීමට IMF සංවිධානය එකඟ වී ඇත. ඒ අනුව ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 500ක පරිපූරක අයවැයක් ඉදිරිපත් කිරීමට අවසර ලැබුණ ද, මූල්‍ය විනය ලිහිල් කිරීමට කිසිදු ඉඩක් නොදෙන බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

IMF කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වන ප්‍රධාන මූල්‍ය හා පාලන කොන්දේසි

රජයේ හදිසි වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම (Net monetary financing) සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එය ‘බින්දුවේ’ මට්ටමේ පවත්වා ගත යුතුය. එමෙන්ම, රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුව වෙළෙඳපොළට මැදිහත් වුවද, ශුද්ධ විදේශ සංචිත (Net foreign reserves) අඛණ්ඩව වර්ධනය කරගත යුතු බවට කොන්දේසි පනවා ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණවලට අමතරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සම්පූර්ණයෙන්ම ස්වාධීන කොමසාරිස්වරුන් යටතේ ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය වෝහාරික විමර්ශන (Financial forensics) සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද, ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

පාඩු ලබන රාජ්‍ය සන්තක ව්‍යවසායයන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකිණීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු අතර, ඒවා නඩත්තු කිරීම සඳහා ජාතික භාණ්ඩාගාරයෙන් ලබාදෙන සෘජු මූල්‍ය ආධාර අවම කර ඇති ආකාරය පිළිබඳව ආණ්ඩුව සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments