සමගි ජන බලවේගයේ හොරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වූ තුන් නිවුන් දරුවන් නිවසේ සිටියදීම ඔහුව අත්අඩංගුවට ගත් ආකාරය සදාචාර විරෝධී මෙන්ම පිළිකුල්සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා.
අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ළමා මනසට මෙවැනි ද්වේෂසහගත දර්ශන ඇතුළුවන විට ඔවුන් පසුකාලීනව සමාජයට වෛර කරන පුද්ගලයන් බවට පත් වීමට හැකි බවයි.
චරිත් අබේසිංහ වත්මන් ආණ්ඩුවේ වංචා සහ දූෂණ හෙළිදරව් කළ කලාකරුවෙකු මෙන්ම මාධ්‍යකරුවෙකු බව පැවසූ බුද්ධික පතිරණ මහතා, චරිත් අබේසිංහ මහතා ඇතුළු පිරිස සිදු කර ඇති කවර හෝ අපරාධමය හෝ සිවිල් වැරැද්දක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සමගි ජන බලවේගයේ කිසිදු අමනාපයක් නැති බවද එහිදී කියා සිටියා.
කෙසේවෙතත් මත්ද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ කල්තැබීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරියක් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නා අවස්ථාවේදීම මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සැක සහිත බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය කිසිවිටෙකත් වැරදිකරුවන් සුරැකීමට කටයුතු නොකරන බවත්, පක්ෂයේ සාමාජිකයෙකු වුවද නීතිය උල්ලංඝනය කර ඇත්නම් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.
තම පක්ෂය නියෝජනය කරන නිවහන තුළ කිසියම් දෝෂයක් පවතින්නේ නම්, රජය සතු නෛතික ප්‍රතිපාදන නමැති කොහු ඉදල්වලින් ඒවා පිරිසිදු කිරීමට කිසිදු විරෝධතාවක් නොමැති බව පැවසූ බුද්ධික පතිරණ මහතා පෙන්වාදෙන්නේ, කෙසේවෙතත් නීතියට අනුව පුද්ගලයෙකු වැරදිකරුවෙකු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකෙන බැවින්, මීට වඩා ශිෂ්ටසම්පන්න අයුරින් හැසිරෙන ලෙස රජයට මතක් කර සිටින බවයි.
මේ අතර චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුද්ධික පතිරණ මහතා කියා සිටියේ, සමගි ජන බලවේගය යනු කැලෑ නඩු අසන හෝ කැන්ගරු උසාවි ක්‍රමයට තීන්දු ගන්නා පක්ෂයක් නොවන බවයි.
පක්ෂයේ කළමනාකරණ කමිටුව, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ විනය කමිටුව සාමූහිකව රැස් වී, නීතිමය විමර්ශනවල ප්‍රගතිය දෙස බලා ඉදිරියේදී ඒ පිළිබඳ විධිමත් තීන්දු ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



