ස්ථාවර නියෝග 19(1) වගන්තිය යටතේ ‘වර්තමානයේ යුක්තිය පසිඳලීමේ පවතින ප්‍රමාදය සහ ඒ හා බැඳුනු හදිසි කාරණා” පිළිබඳ වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විසින් සිදු කළ අතර එහිදී මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීයේය.
ඒ අනුව කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවයි.
ඊට විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභාගර්භයේ සෙංකෝලය ඉවත් කිරීමට උත්සාහ කළ නමුත් පාර්ලිමේන්තු වේත්‍රධාරී කුෂාන් ජයරත්න සහ තවත් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් එක්ව එය ව්‍යර්ථ කරන ලදී.



