Homeදේශීයදකුණු ආසියාවේ දෙවැනි වඩාත් සාමකාමී රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ දෙවැනි වඩාත් සාමකාමී රට ශ්‍රී ලංකාව

ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් 2026 වසර සඳහා නිකුත් කරන ලද 20 වැනි වාර්ෂික ‘ගෝලීය සාම දර්ශකය’ (GPI) අනුව, දකුණු ආසියානු කලාපය තුළ සාමකාමීත්වය අතින් ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ගෝලීය වශයෙන් 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, භූතානයට පමණක් දෙවැනි වෙමින් දකුණු ආසියාවේ දෙවැනි වඩාත් සාමකාමී රට ලෙස ස්ථානගත වී ඇත.

2025 වසරේ නිකුත් වූ දර්ශකයේ රටවල් 163ක් අතුරින් ශ්‍රී ලංකාව පසුවූයේ 97 වැනි ස්ථානයේය.

ලෝකයේ සාමකාමීත්වය සමස්තයක් ලෙස සියයට 0.7කින් පහත වැටෙමින්, පිට පිට 12 වැනි වසරටත් ගෝලීය සාමය පිරිහෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය සුවිශේෂී වේ.

එම වාර්තාවට අනුව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ලකුණු ප්‍රමාණය සියයට 2.3කින් දියුණු වී ඇත. මෙම සාධනීය වෙනස කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණු කිහිපයකි:

– මිලිටරිකරණ අංශය: සියයට 6.4ක කැපීපෙනෙන දියුණුවක් වාර්තා කර ඇත.
– එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් දායකත්වය: එම දර්ශකය සියයට 40.8ක විශාල වර්ධනයක් අත්කරගෙන තිබේ.
– ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය: දේශපාලන අස්ථාවරත්වය සියයට 25කින් අඩුවීම හේතුවෙන් මෙම අංශය සියයට 1.8ක දියුණුවක් පෙන්වයි.

2026 වාර්තාව පෙන්වාදෙන්නේ, පසුගිය වසර 18ක කාලය තුළ ලෝකය අවම වශයෙන් 15 වතාවක් සාමකාමීත්වයෙන් පිරිහී ඇති බවයි.

අසල්වැසි රටවල් සමඟ සබඳතා වැනි දර්ශක 2026 මාර්තු දක්වා යාවත්කාලීන කර තිබුණද, බොහෝ දර්ශක සඳහා දත්ත ලබාගෙන ඇත්තේ 2025 දෙසැම්බර් දක්වා බැවින් ‘ඉරාන යුද්ධයේ’ සම්පූර්ණ බලපෑම මෙවර දර්ශකයට ඇතුළත් වී නොමැත.

ගෝලීය සාම දර්ශකය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කළ 2008 වසරට වඩා වර්තමානය වන විට රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමක පවතින බව IEP වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසර තුළ රටවල් 99ක සාමය පිරිහී ගිය අතර, දියුණුවක් පෙන්නුම් කර ඇත්තේ රටවල් 62ක් පමණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments