යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මෙම හදිසි ස්ථාන මාරු කිරීම පිටුපස විධායකයේ සහ දේශපාලන බලධාරීන්ගේ මැදිහත්වීමක් පවතින්නේ ද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි සැකසංකා මතු වී ඇති අතර, යාපනය නීතිඥ සංගමය (Bar Association of Jaffna) මේ සම්බන්ධයෙන් සිය බලවත් කම්පනය සහ අකමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් ද යොමු කර ඇත.
දේශපාලන මැදිහත් වීම් පිළිබඳ චෝදනා
2026 අප්‍රේල් 22 වන දින යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස වැඩ භාරගත් ඒ. ජී. ඇලෙක්ස්රාජා, මැයි 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස බදුල්ලට ස්ථාන මාරු කර තිබේ. යාපනය නීතිඥ සංගමය පවසන්නේ කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව සිදු කරන ලද මෙම හදිසි මාරුවීම පිටුපස බාහිර හා දේශපාලනික හේතු සාධක පවතින බවට තමන් වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.
නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන පරිදි, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් කිහිපයකට අදාළව විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද අතුරු නියෝග කිහිපයක් මෙම ස්ථාන මාරුවට ආසන්නතම හේතුව වී ඇතැයි සැක කෙරේ. (එම අතුරු නියෝග පසුව අවලංගු කර ඇති අතර තවදුරටත් දීර්ඝ කර නොමැත).
මෙම නියෝගයන්ගෙන් පසුව, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වත්මන් රජයේ ඉහළ පෙළේ සාමාජිකයන් සහ විවිධ බලධාරීන් ලිඛිතව හා වාචිකව සම්බන්ධ කරගනිමින් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වන ලෙස ඉල්ලා ඇති බවට ද නීතිඥ සංගමය බරපතළ චෝදනාවක් එල්ල කරයි.
“අධිකරණ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බරපතළ හානියක්”
අධිකරණ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ පූර්ණ ව්‍යවස්ථාපිත බලය අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සතු බව අවධාරණය කරන යාපනය නීතිඥ සංගමය, එදිනෙදා දේශපාලන අවශ්‍යතා මත විධායකයේ බලපෑම මත සිදුවන මෙවැනි හදිසි මාරුකිරීම් හරහා සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව පෙන්වා දෙයි.
“අධිකරණයේ ස්වාධීනත්වයට සුළු හෝ බලපෑමක් එල්ල වන බවට සමාජය තුළ ඇති වන හැඟීම පවා නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක්. රාජ්‍ය නායකයා ලෙස එවැනි විධායක මැදිහත්වීම් පිළිබඳව සීරෝ ටොලරන්ස් (Zero Tolerance) හෙවත් ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්,” යැයි එම සංගමය සඳහන් කරයි.



