“ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීම” (Protection of the State from Terrorism) මැයෙන් වූ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවයට අභියෝග කරමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
අජිත් පී. පෙරේරා විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින්, ප්රධාන වශයෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අඩංගු විධිවිධාන කිහිපයක ව්යවස්ථානුකූල වලංගුභාවය අභියෝගයට ලක් කර ඇත. ඊට ඇතුළත් වන කරුණු අතර; ඇප ලබා දීම සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරුන් සතු බලතල සීමා කරමින් එම බලතල මහේස්ත්රාත් අධිකරණවලින් ඉවත් කර මහාධිකරණය වෙත පැවරීම; යම් පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමක් හෝ වරදකරු කිරීමක් සිදු නොවූවද, එම පුද්ගලයා පුනරුත්ථාපන වැඩසටහන් වෙත යොමු කිරීමට අමාත්යාංශ ලේකම්වරයාට බලය ලබා දීම; සහ මෙම පනත් කෙටුම්පත යටතේ වරදක් සිදු කර ඇතැයි සාධාරණ ලෙස සැක කළ හැකි පුද්ගලයින් හෝ ආයතන සමඟ සබඳතා පැවැත්වීම තහනම් කළ හැකි ‘සීමා කිරීමේ නියෝග’ (Restriction Orders) වල පුළුල් විෂය පථය යන කරුණු වේ.
මෙම පනත් කෙටුම්පතේ 26, 27, 28, 29, 60(3)(c), 60(7) සහ 68(2) යන වගන්ති, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වන ව්යවස්ථාව සහ 4 වන ව්යවස්ථාව සමඟ කියවා බලන විට ඊට පටහැනි බවට ප්රකාශයක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි. එබැවින්, මෙම වගන්ති නීතියක් ලෙස සම්මත කර ගැනීමේදී ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 83 වන ව්යවස්ථාවේ දක්වා ඇති ක්රියා පටිපාටිය අනුගමනය කළ යුතු බවත්, ඊට ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම ද ඇතුළත් බවත් ඔහු පෙන්වා දෙයි.



