මෑත දිනවල සමාජය තුළ දැඩි ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා ආයතනය වෙත කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපතිවරයා වෙනුවෙන් සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කළා.
අදාළ අපයෝජන සිදුවීම වාර්තා වූ දින සිටම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඊට මැදිහත් වෙමින් නීත්‍යානුකූල පියවර ගනිමින් සිටින බව එම නිවේදනයේ දැක්වෙනවා.
ඉදිරියටත් මෙම බාලවයස්කාර දැරියගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව ද තහවුරු වන පරිදි, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන්නේදැයි අධිකාරිය මඟින් අඛණ්ඩව නියාමනය කරනු ලබන බවද එහි සඳහන්.
එමෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම වින්දිත දැරියගේ උපරිම යහපත වෙනුවෙන් නිසි පියවර ගැනීමට අධිකාරිය සූදානම් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුරවැසියන් අනියම් බියක් හෝ අනවශ්‍ය මහජන කැළඹීමක් ඇති කර ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව අධිකාරිය පෙන්වදෙනවා.
කිසියම් හෙයකින් සමාජය තුළ අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත්, එමඟින් අදාළ අපරාධයට එරෙහිව යුක්තිය පසිඳලීමේ නීතිමය ක්‍රියාවලියට බාධාවක් හා බලපෑමක් එල්ල විය හැකි බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.
දැනට පවතින තත්ත්වය මත වින්දිත දැරියගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බව පවසන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ඇයව විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාමත් සුරක්ෂිතව රඳවා තබා ඇති බවද පෙන්වාදෙනවා.



