Homeදේශීයනියෝජ්‍ය මහලේකම්ගේ නඩුව සමථයකට යන්න හදන්නේ ඇයි?

නියෝජ්‍ය මහලේකම්ගේ නඩුව සමථයකට යන්න හදන්නේ ඇයි?

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න ගේ වැඩ තහනම් කිරීම සිද්ධිය සම්බන්ධව සමතයක් ඇති කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට දෙපාර්ශවය යටම අවසර දීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත් වීමේ හැකියාවක් ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි දැනුම් දීමෙන් අනතුරුව සහ පෙත්සම්කාර පාර්ශවය ඒ සම්බන්ධයෙන් සලකා බැලීම ට එකගතාවය පළ කිරීමෙන් අනතුරුවය.

පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් ගොනුකොට තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ දී කැඳවන ලදී

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ කැඳවන ලදි. මෙකී සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත් කිරීමේ හැකියාවක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට කල් ලබා දෙන ලෙස එහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි කියා සිටියාය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඊට එකගතාවය පළ කළේය. ඒ අනුව එම සමතය සලකා බැලීම සඳහා මෙම පෙත්සම මේ මස 27වෙනි දින යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. කෙසේ වුවද පෙත්සම සම්බන්ධ සීමිත විරෝධතා ගොනු කරන ලෙස දෙපාර්ශවයටම නියෝග කෙරිණි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුමාර කුලරත්න විසින් ගොනු කොට තිබූ මෙම පෙතසමෙහි වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කරනු ලැබ සිටිති.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ද වන පෙත්සම්කරු තම තනතුරට විශ්‍රාම වැටුප් හිමි බව පෙත්සමෙහි සඳහන් කර ඇත.

පෙත්සම්කරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ ලේකම් ධූරය හොබවද්දි ගතකළ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා ඇතුලත් කරන ලදැයි චෝදනා එල්ල කෙරිණ .

පාර්ලිමේන්තු උපදේශක කමිටුව ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු පත් කරමින් ඔහුට එරෙහිව පසුගිය වසරේ පෙබරවාරි දෙවැනි දින මූලික විමර්ශනයක් පවත්වා තිබේ. එම විමර්ශනයෙන් අනතුරුව පෙත්සම්කරුට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහි අඩංගු කරුණු පදනම් කරමින් පසුගිය ජනවාරි 22 වැනි දින පෙත්සම්කරුගේ සේවය අත්හිටවන ලදී .

පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලධාරියා පාර්ලිමේන්තු මහලේකම්වරයා වන අතර පෙත්සම්කරුට එරෙහිව මෙවැනි ආකාරයේ කටයුතු කිරීමට පාර්ලිමේන්තු උපදේශක කමිටුවට නිතිමය ප්‍රතිපාදනයක් නොමැති බවද පාර්ලිමේන්තු උපදේශක කමිටුව නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට පෙත්සම මගින් චෝදනා කර තිබුණි.

වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත්කර මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙස ද, තමන්ගේ වැඩ තහනම් කිරීමේ ලිපිය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් අමිල කුමාර ගේ උපදෙස් පරිදි නීතිඥ රුක්ෂාන් සේනාධීර සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියේය.

මෙහිදි වග උත්තරකාර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ද පාර්ලිමේන්තු සහකාර මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා සමගින් නීතිඥ සුරේන් ඥනරාජ්ද වගඋත්තරකාර සභානායක බිමල් රත්නායක හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධනද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක හා හිටපු විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන ද,හිටපු කථානායක මහින්ද යපා අබේවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ද හිටපු සභානායක සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ද වර්තමාන කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමිර ගාල්ලගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද පෙනි සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි පෙනී සිටියා ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments