ඉන්ධන අර්බුදය හමුවේ රජය ගෙන ඇති ඉන්ධන සීමා කිරීමේ පියවරවලට අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයෙහි සඳහන් වන්නේ,මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ, නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවයි.
කෙසේවෙතත් මෙම සීමා කිරීම් ක්‍රියාත්මක වුවද, ප්‍රවාහන අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සහ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිලධාරීන් සුපුරුදු පරිදි බදාදා දිනවලදී කොළඹ 10, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවතේ පිහිටි “සුවසිරිපාය” අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ඉටු කළ යුතු බව අනිල් ජාසිංහ මහතා පවසනවා.
මීට අමතරව, අමාත්‍යාංශයේ සෙසු අංශ සහ ඒකක බදාදා දිනවලදී අවම කාර්ය මණ්ඩලයක් පමණක් යොදවා ගැනීමට අවධානය යොමු කළ යුතු බවත්, සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළා.



