මෙවර අය-වැය සමග වාහනවල මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවට වූ පුරෝකථනයත් සමග ගතවූ සති කිහිපය තුළ මෙරට වෙළෙඳපොළ තුළ වාහන මිල සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය සිකුරාදා සිය අය-වැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ වාහන අලෙවි කිරීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බව නිරීක්ෂණය වන බව ය.
එබැවින් වාහන ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසුව වාහන අලෙවි කරන අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කරන බව ය. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී පැවසුවේය.
අයවැයෙන් පසුව මෙරට වෙළෙදපොළ තුළ වාහන මිලෙහි වෙනසක් සිදුවී තිබෙනවාද? සමාජ ආරක්ෂණ බද්ද වාහන මිලදී ගන්නා විට බලපාන්නේ කුමන අයුරින්ද? මේ ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සිදු කළ කරුණු සොයා බැලීමකී.
‘වාහන මිල ටිකක් වැඩි වෙනවා’
ජනාධිපතිවරයා සිය අය-වැය කතාවේදී ප්‍රකාශ කළ ආකාරයට වාහන ආනයන සඳහා නව බදු පැනවීමක් සිදුනොකළ ද, සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් වාහන මිලෙහි යම් වෙනසක් සිදුවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
ඔහු කියා සිටියේ 2.5%ක් වන සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 100ක් වටිනා ආනයනික වාහනයකට තවත් රුපියල් ලක්ෂ 2.5ක මිල වැඩි වීමක් සිදුවන බව යි.
“අපි වාහනය විකුණලා තමයි සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම සිදු කළේ. නමුත් සමහර අය ඒ බද්ද ගෙවීම කරලා නැහැ. ඒ නිසා මුලින් ම වාහනය ගෙන්වනකොට අය කරන බදුත් එක්ක මේ සමාජ ආරක්ෂණ බද්දත් ඒ අතර වාරයේදීම ගෙවන්න කියලයි ජනාධිපතිතුමා මෙතැනදී කියන්නේ. අපි ලක්ෂ 100ක වටින වාහනයක් ගේනකොට රුපියල් ලක්ෂ දෙකහමාරක් එකතු වෙනවා මේ සමාජ ආරක්ෂණ බද්දත් එක්ක. මේ ක්‍රමය බොහොම හොඳ දෙයක්. මේ නිසා වාහනවල මිලේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මොකද කලින් මේක ගෙව්වේ නැහැ, දැන් වාහනයේ ඩියුටි එකත් එක්ක මේ සමාජ ආරක්ෂණ බද්ද ගෙවන්න වෙලා තියෙන්නේ.” ඔහු පවසයි.
‘මේක අලුත් බද්දක් නෙමෙයි’
මේ අතර වාහන සඳහා පනවන ලද සමාජ ආරක්ෂණ බද්ද නව බද්දක් නොවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අය-වැය විවාදයට එක්වෙමින් ඊයේ පැවසීය.
අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වාහන ආනයනයේදී සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම නව බද්දක් ලෙස පෙන්වීමට උත්සහ කරන බව ය.
“වාහන ආනයනය පිළිබඳ කතාවක් ආවා. මේකේ කියන්න හැදුවා වාහන බදු වැඩි කළා කියලා. වාහනයක් ගෙනාවට පස්සේ වරායෙන් නිදහස් කරන කොට ගෙවන බදු ප්‍රමාණයක් තියෙනවා. වාහනය සේල් එකට අරන් ගියාට පස්සේ එතැනදී අය කරන බදු ප්‍රමාණයක් තියෙනවා SSCL කියලා (සමාජ ආරක්ෂණ බද්ද). දැන් මේ වාහන වරායෙන් ගොඩබාලා විකුණන සේල් එකේ තියෙනවා අවුරුද්දක් විතර. සමාජ ආරක්ෂණ බද්ද එන්නේ නැහැ රජයට. මේ නිසයි ආණ්ඩුව තීරණය කළේ වාහනය වරායෙන් එළියට දෙනකොටම සමාජ ආරක්ෂණ බද්ද අය කරන්න. මොකද වාහනය ගේන කෙනානේ මේ බද්දත් ගෙවන්න ඕන. ඒක සේල් එකෙන් ගෙව්වත් එකයි වාරයේදී ගෙව්වත් එකයි. ඒ නිසා වාහන බදු වැඩි කරලා නැහැ. අපි කරලා තියෙන්නේ බදු නිසි ක්‍රමයට එකතු කරන එක. විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මෙතන බදු වැඩි කළා කියලා. එහෙම දෙයක් මෙතන නැහැ.” අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් කියා සිටියේය.
සමාජ ආරක්ෂණ බද්ද නිසා වාහන මිල වැඩි වෙලා ද?
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වු එක් වාහන අලෙවිකරුවෙකු කියා සිටියේ ආනයනික නව වාහනයක මිල සමාජ ආරක්ෂණ බද්ද නිසා වෙනසක් සිදුනොවනු ඇති බව යි.
“දැන් කොහොමත් වාහනයක් ලංකාවට එද්දී සමාජ ආරක්ෂණ බද්ද සේල් එකෙන් අපි ගෙවන්න ඕන රජයට. මෙතැනදී ගානේ වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ වෙන්නේ කස්ටම් එකෙන් වාහනය ක්ලියර් කරද්දීම අපිට බද්ද ගෙවන්න වෙනවා කියන එකයි මෙතන වෙනසකට තියෙන්නේ.” ඔහු පැවසීය.
මේ අතර වාහන මිල ගණන් පසුගිය කාල සීමාවට සාපේක්ෂව අඩුවීමක් ඇති බව ද ඔහු කියා සිටියේය.
“වාහන ගණන් දැන් ටිකක් විතර ස්ථාවර වෙලා තියෙනවා. හැබැයි වාහනවල ගණන් අඩු වෙලා තියෙන්නේ හොඳට ම. උදාහරණයක් විදිහට ගත්තම යූස් කරපු වැගන් ආර්, ඇල්ටෝ වගේ වාහනයක ගණන් රුපියල් ලක්ෂ 10-15 අතර වගේ අඩු වෙලා තියෙනවා. පාවිච්චි කරපු වැගන් ආර් ඉස්සර ලක්ෂ 65-70 අතර විකිණුවේ. දැන් ලක්ෂ 55-57 වගේ ගණන් වලට ගන්න පුළුවන් ඒ ඒ වාහනේ කන්ඩිෂන් එක අනුව. ඒ වගේම ලක්ෂ 40 කට කිට්ටුව විකුණපු ඇල්ටෝ වාහනයක් දැන් ලක්ෂ 30-33 වගේ ගානට අඩු වෙලා තියෙනවා. සමහර වාහන ලක්ෂ 28ටත් විකුණන්න තියෙනවා.”
”අලුතින් ලංකාවට ගේන වැගන් ආර් වාහනයක් අද වෙද්දී මාර්කට් එකේ ලක්ෂ 75 ට වගේ ගන්න පුළුවන්. ඉස්සර මේ වාහනේ විකුණුවේ ලක්ෂ 105 ට එහෙමත් නැත්නම් ලක්ෂ 95ට වගේ. ඒ වගේම තමයි Honda Vezel වර්ගයේ unregister වාහනයක් දැන් ගන්න පුළුවන් ලක්ෂ 170 ඉදලා උඩට. ඉස්සර Honda Vezel එකක් අපි ලක්ෂ 195 – ලක්ෂ 210 වගේ ගණන් වලට. මේ වාහන ටිකක ගණන් විතරයි මම කිව්වේ. හැම වාහනයකම මිල අඩුවෙලා තියෙනවා ලක්ෂ 10කින් වගේ.” ඔහු වැඩිදුරටත් පැවසීය.
වාහන සඳහා ලීසිං ලබා දිය හැකි සීමාව
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශවලට අනුව, වාණිජ වාහන සඳහා උපරිම ලීසිං ප්‍රතිශතය 70% ක් ලෙස සඳහන් කර ඇති අතර, පෞද්ගලික වාහන සඳහා උපරිමය 50% කට සීමාකර ඇත.
මීට පෙර, ජූලි මාසයේදී, මහ බැංකුව වෙනම උපරිම ණය-වටිනාකම් කාණ්ඩ හතරක් ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව වාණිජ වාහන සඳහා 80%, පෞද්ගලික වාහන සඳහා 60%, ත්‍රිරෝද රථ සඳහා 50% සහ අනෙකුත් වාහන සඳහා 70%ක් වශයෙන් ඇතුළත් කර තිබුණි.
නවතම සංශෝධනය යටතේ, මෙම කාණ්ඩ 04 දැන් ප්‍රධාන කාණ්ඩ දෙකකට යටත් කර ඇත. එහිදී වාණිජ වාහන: උපරිම ලීසිං පහසුකම 70% දක්වා සහ පෞද්ගලික වාහන (මෝටර් රථ, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පුද්ගලික භාවිතය සඳහා වන වාහන) සඳහා උපරිම ලීසිං පහසුකම 50% දක්වා වශයෙන් ඇතුළත් කර තිබේ.
ලීසිං පහසුකම් සඳහා සීමා පැනවීමෙන් වාහන ආනයන සීමා කළ හැකි ද?
වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීම සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ වාහන ආනයනයට යම් පාලනයක් ගෙන ඒමට ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගෙන් විමසන ලදී.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධින ආයතනයක් බව සහ රටේ මූල්‍ය ස්ථාවරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තීරණ ගන්නා බව යි.
“මහ බැංකුව ස්වාධීන ආයතනයක්. මහ බැංකුවේ වගකීමක් තමයි මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම. ඒකෙ අරමුණ කලින් කලට බලලා ඒ ඒ අවශ්‍ය පියවර ගන්නවා. ආණ්ඩුව මේ ගැන කිසිම මැදිහත් වීමක් කරන්නේ නැහැ. මූල්‍ය සහ මිල ස්ථාවරත්වය පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුවයි මේ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර වාහන ආනයනය (පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන) සඳහා වූ ආනයන වියදම 2025 වසරේ සැප්තැම්බර් මාසය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් වූ අතර, 2025 වසරේ පළමු මාස නවය සඳහා මුළු වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,204ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



