Homeදේශීයඋසස් පෙළ විභාගය ඇරඹෙයි.

උසස් පෙළ විභාගය ඇරඹෙයි.

අ.පො.ස. උසස් පෙළ 2025 විභාගය අද (නොවැ. 10) සිට දෙසැම්බර් 05 දක්වා දිවයින පුරා විභාග දිවයින මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා ය.

මෙවර විභාගයට පාසල් අයැදුම්කරුවන් 246,521ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයැදුම්කරුවන් 340,525 දෙනෙකු පෙනී සිටින බව ද කොමසාරිස් ජනරාල්වරිය කීවා ය.

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් සූදානම් කර ඇතැයි කී කොමසාරිස් ජනරාල්වරිය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ රහස්‍ය ලේඛන ප්‍රවාහනයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන් කළා ය.

දූපත්වල පිහිටි විභාග මධ්‍යස්ථානවල රහස්‍ය ලේඛන ප්‍රවාහනයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාගෙන ඇතැයි කී කොමසාරිස් ජනරාල්වරිය මුහුද අයහපත් තත්ත්වයක පැවතුණහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට සූදානම් කර ඇතැයි ප්‍රකාශ කළා ය.

ආපදා තත්ත්වයකදී මුහුණ දීමට දිවයින පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇතැයි කී කොමසාරිස් ජනරාල්වරිය විභාග අපේක්ෂකයන්ගේ ගමනාගමන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය සහාය වී තිබෙන බව ත් සෞඛ්‍ය ගැටලුවකදී මුහුණ දීමට රෝහල් ඇතුළු සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙන බව ත් පැවසුවා ය.

පාසල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට හා පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් ලබා දුන් බව ත් ප්‍රවේශ පත්‍ර නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ පහසුකම් සලසා තිබෙන බවත් ඇය කීවා ය.

විභාග කාලසටහනේ හෝ ප්‍රශ්න පත්‍ර ආකෘතිවල වෙනසක් නොකර පසුගිය වර්ෂවල ආකාරයට ම ලබාදෙන බව කී කොමසාරිස් ජනරාල්වරිය පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක අමතර කියවීම් කාලයක් ලබා දෙන බවත් පිළිතුරුවල ලකුණු දීමේ පටිපාටියට අදාළ කරුණු තිබුණහොත් පමණක් නියමිත ලකුණ දෙන බව ත් සඳහන් කළා ය.

රචනා ප්‍රශ්න ලිවීමට පොතක්, චිත්‍ර විෂයට විශේෂිත චිත්‍ර කඩදාසියක්, බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවිමට විශේෂිත කඩදාසියක් මෙන්ම උත්තර ලිවීමට අමතර කොළ, ප්‍රස්තාර කොළ හා ටිෂූ කඩදාසි අපේක්ෂකයන්ට ලබාදෙන බවද කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.

ප්‍රවේශ පත්‍රයේ නම, විෂය, විෂය අංක, විභාග මාධ්‍ය සංශෝධනය කිරීමට නොහැකි වූ අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව අමතා උපදෙස් ලබාගන්නා ලෙසත් විදුහල්පති, ග්‍රාම නිලධාරි ආදී බලයලත් අයකුගෙන් ප්‍රවේශ පත්‍රයේ අස්සන සහතික කරවා ගන්නා ලෙසත්, අපේක්ෂකයන් එකම අස්සන සෑම විටම භාවිත නොකරන ලෙසත්, විභාගය ආරම්භ කිරීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට යන ලෙසත් විභාගයට පැය භාගයකට පෙර විභාග අංකයට නියමිත අසුනේ වාඩි වන ලෙසත් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඉල්ලීමක් කළාය.

උදෑසන කාලයේ විභාගය පෙරවරු 8.30ටද සවස් වරුවේ විභාගය පස්වරු 1.00ට ද සිකුරාදා දිනවල සවස් වරුවේ විභාගය පස්වරු 2.00ට ආරම්භ වන බවද ඇය කීවාය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය විශේෂිත පහසුකම් පිළිබඳව දිස්ත්‍රික්ක වශයෙන් ශාලාධිපතිවරු දැනුවත් කළ බව කී කොමසාරිස් ජනරාල්වරිය ඇවිදීමේ අපහසුකම් ඇති දරුවන්ට පහළ මාලවල විභාග ශාලා භාවිත කරන ලෙසත් විභාග ශාලාව දක්වා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට විශේෂ නිරීක්ෂකයන්ගේ සහාය ලබාදෙන ලෙසට දැනුම් දුන් බවත් මේ දිනවල කායික අපහසුතාවකින් සිටින අපේක්ෂකයන් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බවත් පැවැසුවාය.

අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශ පත්‍රය, අනන්‍යතා පත්‍රය, පෑන්, පැන්සල්, සාමාන්‍ය අත් ඔරලෝසුවක් පමණක් විභාග ශාලාවට රැගෙන යෑමට ඉඩ දෙන බව ත් ඉලෙක්ට්‍රොනික අත් ඔරලෝසු, ජංගම දුරකතන හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම තහනම් බව ත් ඇය සඳහන් කළාය.

විභාග ශාලාධිපති ලබාදෙන උපදෙස්වලට පටහැනිව විභාග ශාලාවේදී හැසිරුණහොත් හෝ වෙනත් අපේක්ෂකයන්ට බාධා කළහොත් විභාග නීති රීති අනුව දඬුවම් ලබාදෙන බව කී ලියනගේ මහත්මිය විභාගයට පෙනී සිටින කාලය තුළ දෙකන් සහ මුහුණ සම්පූර්ණයෙන් නිරාවරණය වන පරිදි සිටින ලෙසත් විභාග වංචා සිදු කිරීමට විවිධ උපකරණ සවිකරගෙන නොඑන ලෙසත් ඉල්ලා සිටියාය.

විභාග වංචාවලට හසුවුවහොත් ජීවිත කාලය පුරා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාගයකට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කී කොමසාරිස් ජනරාල්වරිය විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය ප්‍රචාරය පළ කරන, අනුමාන ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කරන, විභාග ප්‍රශ්න පත්‍ර ඡායා රූගත කර මුදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කළාය.

එසේම විභාගය පැවැත්වෙන කාලය තුළ විභාග ශාලා ආශ්‍රිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසත් ප්‍රමාද වී විභාගයට යන දරුවන් මාර්ගයක සිටියහොත් ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙසත් කොමසාරිස් ජනරාල්වරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments