Homeදේශීයඇමති නලින්දගේ තොරතුරුවල විශ්වසනීයත්වය කෝ?මාධ්‍ය සංවිධානත් නිහඬයි.

ඇමති නලින්දගේ තොරතුරුවල විශ්වසනීයත්වය කෝ?මාධ්‍ය සංවිධානත් නිහඬයි.

ගෙවී ගිය දශක එක හමාරක කාලය තුළ පැහැර ගැනීමට හා පහර කෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගණන
සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිල තොරතුරුවල විශ්වසනීයත්වය බරපතල ලෙස අභියෝගයට ලක්ව තිබේ.

2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට, පැහැරගැනීමට සහ පහරදීමට ලක්වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා තිබුනේ 2025 මාර්තු 07 වැනිදායි.

එම පැනවලට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 2025 ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී දුන් පිළිතුර අනුව එම කාලය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම හැරුනුකොට පහර කෑමට ලක්ව ඇති මාධ්‍යවේදීන් ගණන අටක් පමණකි.

“2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුර අනුව පැහැරගැනීම් 01යි, පහරකෑම් 08 ක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ,” යි දොස්තර ජයතිස්ස පැවසීය.

“පැහැරගැනීම් ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ. පහරදීම් මහින්ද ආරියවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහොමඩ් සුහායිල්, සුබ්‍රමනියම් බාස්කරන්, චමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රිෂාන්ත බාලසුරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉදුනිල් සිසිර විජේනායක”

කෙසේවෙතත්, එම කාලය තුල රටපුරා අඩුම වශයෙන් පැහැරගෙන යාම් දෙකක් ඇතුළුව ජනමාධ්‍යවේදීන්ට වධබන්ධන පමුණුවා පහර දීම් විස්සකට වැඩි සංඛ්‍යාවක් ජනමාධ්‍ය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන විසින් හෙළිදරව් කර තිබීම නිසා අමාත්‍යවරයාගේ දත්ත බරපතල අභියෝගයට ලක්වෙයි.

ඒ අතරින් සාතිශය බහුතරය තමන්ට සිදුවූ අපරාධය පිළිබඳව පොලිසියට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර තිබේ. මේ අතරින් වන්නියේ එක් දෙමළ මාධ්‍යවේදියකු පහර කෑමට ලක්වී ඇති වාර ගණන තුනකට වැඩිය.

තමන් සතුව ඇති නම් නමය මෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන බව පැවසෙන විමර්ශනවල වර්තමාන තත්වයන්ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන කරන්නේද නැද්ද, විමර්ශන කර ඇතිනම් දී ඇති නිර්දේශ කවරේද යන්න සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශයට පත් නොවිණි.

අවම වශයෙන් පසුගිය මාසයේදී පහර කෑමට ලක්වු දකුණේ මාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් හෝ කිසිදු තොරතුරුක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments