නව කැබිනට් සංශෝධනය යටතේ නව අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමත් සමඟ, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව 23ක් දක්වාත්, නියෝජ්‍ය අමාත්‍යධූර සංඛ්‍යාව 33ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මීට පෙර කිසිදු අමාත්‍ය ධූරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු නව නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දීම විශේෂත්වයක්.
ඒ අතර එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කැබිනට් අමාත්‍ය ධූරයකට පත් කිරීමද කැපී පෙනෙවා.
කැබිනට් මණ්ඩලයේ මීට පෙර පැවති කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 22ක්.
නියෝජ්‍ය අමාත්‍යවරුන් 28ක් මීට පෙර කටයුතු කරනු ලැබුවා.
නව සංශෝධනයේදී අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස්වීම මෙම සංශෝධනයේදී දක්නට ලැබුණු විශේෂත්වයක්.
මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක දැරූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශවලින් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඔහුට එක් කර තිබුණා. ඒ අනුව බිමල් රත්නායක අද දිවුරුම් දුන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
බිමල් රත්නායකගෙන් ඉවත් කරන ලද වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, අමාත්‍ය අනුර කරුණාතිලකට ලබා දී තිබෙනවා.
මීට පෙර ඔහු කටයුතු කළේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙසයි.
මේ අතර අනුර කරුණාතිලකගෙන් ඉවත් කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධූරය, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහට ලබා දී තිබෙනවා.
ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ අද දිනයේ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මීට පෙර කැබිනට් මණ්ඩලයේ ජල සම්පාදන අමාත්‍ය ධූරයක් පැවතියේ නැහැ.
ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ අද දින දිවුරුම් දෙනු ලැබුවේ අරවින්ද සෙනරත් විතාරණයි.
මේ අතර ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ, මීට පෙර එම ධූරය දැරූ හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කර ඇති පසුබිමකයි.
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මීට පෙර දැරුවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි.
නව සංශෝධනය යටතේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය යූ. ඩී. නිශාන්ත ජයවීර හට හිමි වී තිබෙනවා. ඔහු නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස අලුතින් අමාත්‍ය මණ්ඩලයට එක්වන අයෙක්.
ටී. බී. සරත් නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහු මීට පෙර දැරුවේ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි. ඒ අනුව මෙය නව අමාත්‍ය ධූරයක් ලෙස සලකනු ලබනවා.
එම්. එම්. මොහොමඩ් මුනීර් මුලාෆර් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීම් ලබා ඇති අතර, ඔහු මීට පෙර දැරුවේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි.
එරංග ගුණසේකර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහු මීට පෙර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරුවා.
ඒ අනුව නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එච්. එම්. දිනිඳු සමන් කුමාර පත්වීම් ලබා තිබෙනවා. ඔහු නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අමාත්‍ය මණ්ඩලයට එක්වන්නෙක්.
වෛද්‍ය හංසක විජේමුණි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ඔහු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මීට පෙර ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද දරනු ලැබුවා.
ඒ අනුව නව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමිවූයේ ආචාර්ය කෞශල්‍යා ආරියරත්නටයි. ඇය ද නව නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙස පත්වීම් ලබා තිබෙනවා.
මේ අතර අලුතින් හඳුන්වා දුන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ එච්. අයි. එම්. අර්කම් ඉල්යාස්. ඔහු ද නව නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්වීම් ලබාගත් අයෙක්.



