Homeදේශීයබාල ඖෂධ සිද්ධියේ චූදිත විමර්ශන දෙකකට යටත් කිරීම සාධාරණද?

බාල ඖෂධ සිද්ධියේ චූදිත විමර්ශන දෙකකට යටත් කිරීම සාධාරණද?

බාල ඖෂධ සැපයූ බව කියන සිද්ධියේ චූදිතයකු වන ජානක ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධයෙන් සිය නීතිඥයා මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දීමක් කර තිබියදීත් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම මස 13 වැනිදා පැමිණෙන ලෙස යළිත් එම චූදිතයා වෙත දැනුම් දී තිබේ.

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන අධි චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන නීතිමය කටයුතු පිළිබඳව නිසි ඇගයීමකින් පසු විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට සලකා බලන බව ජානක ප්‍රනාන්දු එම කොමිෂන් සභාවට දැනුම් දී තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය මස 26 වැනිදා පැමිණෙන ලෙසට කර තිබූ දැනුම් දීම අනුවය.

එම කැඳවීම් ලිපිය මගින් විස්තර කර තිබෙන කරුණුවලට අදාළව ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සිය සේවාදායක අත්අඩංගුවට ගෙන වසරකුත් මාස අටක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද බවත් එකී චෝදනාවන් යටතේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙන බවත් නීතිඥයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

මෙම විමර්ශනයට අදාළව සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා දී තිබෙන බව ද ඒ යටතේ විමර්ශන අවසන් කර අධි චෝදනා ගොනු කර ඇති බව ද සඳහන් කර ඇති එම ලිපියේ එකම චෝදනා සහ කරුණු සම්බන්ධයෙන් විමර්ශන දෙකකට යටත් කිරීම ස්වභාවික යුක්තිය අභිබවා යාමක් බවත් සඳහන් කර ඇත.

එම කාරණා සම්බන්ධයෙන් වූ චෝදනාවන් අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින අවස්ථාවක ඊට සමාන හෝ එකී කාරණාවලට අදාළව ම වෙනත් විමර්ශන අධිකාරියකට ප්‍රකාශයක් ලබා දීම එම අධිකරණ විනිශ්චයට අනිසි බලපෑමක් එල්ල වන බව ද එමගින් සිය සේවාදායකයාට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද එම ලිපියෙන් දන්වා තිබේ.

තව ද විමර්ශනයට අදාළව යම් ප්‍රකාශයක් ලබා දීමට අවැසි වන්නේ නම් එය මහාධිකරණයේ නියෝගයට යටත්ව හෝ අවසරය මත විය යුතු යැයි ද තවදුරටත් එහි සඳහන් කර තිබේ.
සිද්ධියට අදාළ නඩුව මෙම මස 31 වැනිදා යළි කැඳවීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments