අධිකරණය හමුවේ ගොනු කරන චෝදනා පත්‍ර සංකීර්ණ නීති වචනවලින් තොරව සරලව සහ සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම පොලිසියට නියෝග කළේය.
යම් විත්තිකරුවකුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමේදී සිදුකරන වරද, වරදේ ස්වභාවය, වරද සිදුවූයේ කොතැනද, කවදාද, එම වරද කවුරුන් විසින් කරන ලද්දක්ද යනුවෙන් විස්තර පැහැදිලිව ඇතුළත්ව සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
සංකීර්ණ නීති වචන පමණක් යොදා චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කරන අවස්ථාවන්හිදී ඒවා තේරුම් ගැනීමට විත්ති පාර්ශ්වයන් අපොහොසත් වන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සෑමවිටම අදාළ චෝදනා පත්‍ර සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් පනස්පන් දහසක් (55,000) වංචා කරන ලදැයි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජංගම දුරකථන වෙළෙඳසල් හිමියකුට එරෙහිව පවරන ලද චෝදනා පත්‍රයක් සංශෝධනය කරන ලෙසට දන්වමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුව පවරා තිබූ අතර විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් සිල්වා පෙනී සිටියේය.



