යෝජිත විදුලිබල පනත් සංශෝධන කෙටුම්පත මගින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසි දෙදහසකට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් සතියක් ඇතුළත විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන බව විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති පවසයි.
රජයට අනතුරු අඟවමින් ඔවුන් පෙන්වා දෙන්නේ අගෝස්තු 05 වැනිදා අවසන් වන විටද විදුලිබල සේවක ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් නොමැති නම් අගෝස්තු 06 වැනිදා උදෑසන වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 29 දැඩි තීරණයක් ගන්නා බවය.
ජනාධිපතිවරයා මාලදිවයින් සංචාරයට යාමට පෙර අවම වශයෙන් නැවත පැමිණ හෝ විදුලිබල සේවකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා වේලාවක් හෝ ලබා දෙන බවට නොපැවසූ බව විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සඳහා නායකත්වය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.
රජය සහ පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන බැවින් තවමත් වැඩ වර්ජනයකට යාමට කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් දිගින් දිගටම ආණ්ඩුවට අනුකම්පා කිරීමෙන් ඔවුන් එම අනුකම්පාව භූමිකම්පාවක් දක්වා වර්ධනය කරගන්න බවද ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෝසල අබේසිංහ මෙසේද කියා සිටියේය.
”අපි පසුගිය 22 ඉඳන් 26 වැනිදා දිනය දක්වාත් ආණ්ඩුවට අවස්ථාව දුන්නත් ඒ අවස්ථාව ඔවුන් ගත්තෙත් නැහැ. අපි වෘත්තීය සමිති නායකයන් එක්ව 28 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡාවෙන් පසුව තමයි තීරණය කළේ තවත් දින පහක අවස්ථාවක් දෙන්න. මේ දෙන අවසාන අවස්ථාව. මේ අවස්ථාවෙන් පස්සෙත් උත්තරයක් නැත්නම් ආණ්ඩුවට කියන්න තියෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. විදුලිබල මණ්ඩලය කියන්නේ සිල්ලර බඩු කඩයක් නෙමේනේ. අපිට රටේ ජනතාව අපහසුතාවට පත්කරන්න බැහැ. අඛණ්ඩ වැඩ වර්ජනයකට එකවර ගිහින් මොකද ඒකෙන් වෙන්නේ? රටම අඩපණ වෙන එක. අපි ඒකයි තවත් ආණ්ඩුවට කල් දුන්නේ. මෙවර සටන් කරන්නේ තමන් ගැන විතරක් හිතන සේවකයන් නෙමේ, අපි අපේ සටන් කරන්නේ රට වට්ටනේ නැතිවෙන්න. නමුත් අපේ ඉවසීමේ සීමාව පන්නගන්න එපා කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.’’
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූයේ ඉකුත් 22 වැනිදාය. විදුලිබල මණ්ඩලයේ සේවකයන් සහ වෘත්තිය සමිති නියෝජනය කරමින් දෙදහසක් පමණ පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.