බීඩි නිෂ්පාදනයෙන් රුපියල් කෝටි දෙසීයක බදු ආදායමක් පසුගිය වසරේ දී අපේක්ෂා කළ නමුත් ලැබී ඇත්තේ රුපියල් සිය කෝටි පන් ලක්ෂයක් පමණක් බව අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා පැවැති රජයේ මුදල් කාරක සභාවේ දී ය.
පසුගිය වසරේ දී බීඩි නිෂ්පාදකයන් සඳහා බලපත්‍ර 1140ක් නිකුත් කර තිබෙන නමුත් බදු ඉහළ නැංවීමෙන් පසු මෙම වසරේ දී අලුත් කර ඇත්තේ එම බලපත්‍රවලින් 840ක් යැයි කාරක සභාවට එක්ව සිට ඇති සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්.ඒ. ප්‍රේමරත්න සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක බදු ආදායමක් පමණි.
මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත.
බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යනුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ බවත් එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවත් කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දී ඇත.
කාරක සභාව රැස් වී ඇත්තේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද අප්‍රේල් මාසයේ සිට වැඩි කරමින් නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමත කිරීම වෙනුවෙනි.