ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනමාධ්‍යවේදියෙකු වන මිතුන් ජයවර්ධන සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවට පෙත්සම්කරුවන් කියා සිටිනවා.
එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් සඳහන් කළා.
තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩ බලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා.
ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.