Homeදේශීයහැටන් - දික්ඔය නගර සභාවේ මුල්ම රැස්වීම අවුලක

හැටන් – දික්ඔය නගර සභාවේ මුල්ම රැස්වීම අවුලක

හැටන්-දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම පැවති අතර එහිදී නගරාධිපති ජාතික ජන බලවේගයේ අසෝක කරුණාරත්න ඉදිරිපත් කළ යෝජනාවක් හේතුවෙන් සභාවේ උණුසුම් විවාදයක් ඇතිව තිබේ.

නගරාධිපති අසෝක කරුණාරත්න සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කළ හැකි මුදල රුපියල් 10,000ක් බවත්, එය වත්මන් අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් නොවන නිසා එම මුදල වැඩි කර දෙන ලෙසත්ය.

එම යෝජනාවට සමගි ජන බලවේගයේ නියෝජනය කරන අලගමුත්තු නන්දකුමාර් විරෝධය පළකරමින් නගර සභාවේ වැඩ බලන ලේකම්වරියගෙන් විමසා ඇත්තේ සභාවේ මුදල් රෙගුලාසි අනුව නගරාධිපතිට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩි කිරීමට පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අනුමැතියක් හෝ චක්‍රලේඛයක් ලැබී ඇත්නම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මෙහිදී වැඩ බලන ලේකම්වරිය සභාවට දැනුම් දී ඇත්තේ නගරාධිපතිට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල අවස්ථානුකූලව වැඩි කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගෙන් වාචික උපදෙස් ලැබී ඇති බවයි.

එහෙත්, අලගමුත්තු නන්දකුමාර් නැවතත් කරුණු දක්වමින් කියා තිබෙන්නේ නගරාධිපතිට ක්ෂණිකව වැය කිරීමට හැකි මුදල වැඩි කර ගැනීමට නම් පළාත් පාලන කොමසාරිස් සමඟ සාකච්ඡා කර ලිඛිත අවසරයක් ලබාගෙන එය සිදු කළ යුතු බවයි.
එසේ නොමැතිව ඒ සඳහා සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසටද ඔහු ඉල්ලා තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය ද අලගමුත්තු නන්දකුමාර් ගේ අදහසට සමාන අදහසක් දක්වමින් කියා ඇත්තේ චක්‍රලේඛනවලට පටහැනිව කටයුතු කිරීමට සභාවේ කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලිඛිතව ලබා ගෙන නගරාධිපතිට ක්ෂණිකව වියදම් කළ හැකි මුදල වැඩි කර වැය කිරීමට හැකියාව ඇති බවත්ය.

හැටන්-දික්ඔය නගර සභාවේ මුල්ම රැස්වීමෙන්ම සභාපතිවරයාගේ බලතල සහ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් මෙවැනි විවාදයක් ඇති වීම, ඉදිරියේදී නගර සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව කුතුහලයක් දනවන බව එහි රැස්ව සිටි මහජන නියෝජිතයන් බහුතරයක අදහසවූ බවද වාර්තා වෙයි.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments