Homeදේශීයලුණු බහාලුම් 100කට වඩා වරායේ හිරවෙයි

ලුණු බහාලුම් 100කට වඩා වරායේ හිරවෙයි

කොළඹ වරාය තුළ නැවත වතාවක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු චෝදනා කළේ අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද මේ වන තෙක් එම භූමියට එකඳු රථයක් ඇතුලත් කර නොමැති බව ඔහු පවසයි.

එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙය ඉදිරියටත් සිදුවුවහොත් නැවතත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවධානමක් ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් එවා කල්ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් පැවසු බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා, මෙම තත්ත්වයන් සමනය කරගැනීමට නම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටියේය.

ආනයනික ලුණු තොගවල තත්ත්ව සහතික පරීක්ෂා කිරීමේ ප්‍රමාදය නිසා එම බහාලුම් 100 කට වැඩි ප්‍රමාණයක් වරායේ තිබෙන බව ද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

දිනපතාම වරායෙන් ලුණු බහාලුම් පිටතට යවනු ලබන්නේ සීමාකර බවත්, ලුණුවල තත්ත්ව සහතික ආදිය පරීක්ෂා කිරීමෙන් පසුව ගබඩා පරිශ්‍ර වෙත යවන බවත් ඔහු කීවේය.

ඉතා තද අව්රශ්මිය නිසා ලුණු දියවීමේ හැකියාව පවතින බවත්, ඇතැම් බහාලුම්වලින් එලෙස ලුණු දියවී පිටතට ගලා එන බවත් ඔහු පැවසුවේය.

ලුණු පමණක් නොව අර්තාපල්, ලූනු ආදිය සහිත බහාලුම් පරීක්ෂා කිරීමට ප්‍රමාද වීමේදී ඒවා නරක්වීමට තිබෙන ඉඩකඩ වැඩි බවද ඔහු කියා සිටියේය.

ඇතැම් ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කෙරෙන්නේ ශීතකළ බහාලුම් තුළ බවත්, එම බහාලුම් වරාය පරිශ්‍රය තුළ දින දෙකක් පමණ පවතිද්දී ඒවා නරක්වීමට තිබෙන ඉඩකඩ වැඩි බවත් සනත් මංජුල කියා සිටියේය.

අහාර ද්‍රව්‍ය සඳහා රේගුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇතත්, වරායෙන් පිටත බහාලුම් පරීක්ෂා කරන ස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොසිටීම නිසා එම බහාලුම් වරාය පරිශ්‍රය තුළ සිරවී ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments